කොළඹ මහ නගර සභාව එළියට යයි.

කොළඹ මහ නගර සභාව එළියට යයි.

නව පළාත් පාලන ඡන්ද ක්‍රමය හේතුවෙන් මෙම අර්බුදකාරී තත්ත්වය හටගෙන ඇති අතර එතෙක් පැවති මැතිවරණ ක්‍රමවේදයට අනුව කොළඹ මහනගර සභා සභා ගර්භය නිර්මාණය කෙරී ඇත්තේ සභිකයන් පනස් පස් (55) දෙනෙකුට අසුන්ගත හැකි වන සේ ඊට අදාළ පහසුකම් සමගින්ය.

2018 පළාත් පාලන ඡන්ද විමසීමෙන් අනතුරුව එම සභික ධුර සංඛ්‍යාව 110 දක්වා ඉහළ යන බවට ගැසට් පත්‍රයක් මගින් සංස්ථාපනය කර තිබිණි. එහෙත් ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමත් සමග සංස්ථාපිත සභික ධුර සංඛ්‍යාව ද ඉක්මවා එල්ලෙන ආසන ක්‍රමවේදය අනුව (Overhang Sets) අමතර සභික ධුර නවයක්ද නිර්මාණය වී ඇත.

මේ තත්ත්වය හමුවේ කොළඹ මහනගර සභා සභික ධුර සංඛ්‍යාව 119 දක්වා ඉහළ ගොස් ඇත.

සභික ධුර සංඛ්‍යාව දෙගුණයකටත් වඩා ඉහළ යාමෙන් හටගත් අර්බුදකාරී තත්ත්වය හමුවේ කුලී පදනම මත රැස්වීම් ශාලාවක් පවත්වාගෙන යාමට මහනගර සභාවට සිදුව තිබේ. මෙම අර්බුදයට විසඳුමක් සොයාගන්නේ කෙසේදැයි කොළඹ මහනගර සභා නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතාගෙන් ලංකා නිව්ස් වෙබ් කළ විමසීමක දී ඔහු කියා සිටියේ නව නගරාධිපතිනිය දිවුරුම් දී පැමිණි වහාම සභා රැස්වීම් පවත්වාගෙන යන්නේ කිනම් ස්ථානයක ද යන්න තීරණය කරනු ඇති බවය. දැනට පවතින සභා ගර්භය කිසිසේත්ම නව සභික ධුර සංඛ්‍යාවට ප්‍රමාණවත් නැති බවත් විවිධ භාෂාවන් නියෝජනය කරන සභිකයන් තේරී පත් වී ඇති නිසා භාෂා පරිවර්තන පහසුකම් සහිත නව රැස්වීම් ශාලාවක් කුලී පදනම මත හෝ වෙනත් ක්‍රමවේදයක් යටතේ ලබා ගැනීමට සිදුවනු ඇති බවත්ය.

නව සභිකයන් 119 දෙනාටම ප්‍රමාණවත් පහසුකම් සහිත රැස්වීම් ශාලාවක් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පවතින බවට තහවුරු කරගෙන ඇති බව කී නාගරික කොමසාරිස්වරයා බොහෝ විට කොළඹ මහනගර සභාව මින් මතු එම පරිශ්‍රය තුළ රැස්වනු ඇතැයි විශ්වාසය පළ කළේය.

- දයා නෙත්තසිංහ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment