අනුරසිරි හෙට්ටිගේ - යහළු මද නළ කැටුව - ආ විලස නික්ම යන සොඳුරු මිනිසා

අනුරසිරි හෙට්ටිගේ - යහළු මද නළ කැටුව - ආ විලස නික්ම යන සොඳුරු මිනිසා

‘‘සඳට වෙඩි තබා ඇත. කැබලි විසිරී ය. my3 එන්න. අපි සඳ අලවමු. තවමත් පමා නැත. හාවාගේ හෘද ස්පන්දනයට සවන් දෙන්න..!“ මේ පෙබරවාරි 12 වැනිදා ට එළිවෙන පාන්දර රාජ්‍ය සම්මානලාභී ලේඛක අනුරසිරි හෙට්ටිගේ විසින් සිය පුරවැසි හදගැස්ම මුහුණු පොතේ සටහන් කර තිබූ ආකාරයයි. එය ඔහුගේ දේශපාලනමය භාව ප්‍රකාශනයක් වශයෙන් අප සිත් පැහැර ගත්තේය. සමරිසි බව ‘මානව කාරණයක්‘ බව නොබියව-නොසඟවා කී මේ මිනිසා,  2018 ගාලු ෆෙයාවේ සාහිත්‍ය සම්මාන උළෙලේදී ‘පණ්ඩක පුත්‍ර වස්තුව‘ වෙනුවෙන් හොඳම නවකතාවට හිමි සම්මානයද දිනාගත්තේය.

නමුත් එසේ සම්මානයට පාත්‍ර වී ඔහු විසින් අන්තර්ජාතික ශීර්ෂ පාඨ මවනවිට පවා, ඔහු පුරා දශක තුනකට ආසන්න කාලයක් සේවය කළ ජාතික රූපවාහිනිය ට එය ප්‍රවෘත්තියක් වූයේ නැත. කෙසේ වෙතත් 2012 වසරේ ජනප්‍රිය නළුවෙකුගේ විවාහය, රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ පළමු ප්‍රවෘත්තිය වශයෙන් ඔවුන් විකාශය කළ බව අපට මතක ඇත. අපේ රටේ බොහෝ රාජ්‍ය මෙන්ම පුද්ගලික ආයතන ද වසා පැතිර පවත්නා කුහක, පුද්ගලික මතවාදයන් සහ දක්ෂයාට නිසි තැන, නිසි බැබළීම ලබා නොදීම පිළිබඳ උදාහරණයක් වශයෙන් අනුරසිරි හෙට්ටිගේ සහෘදයාගේ 26 අවුරුදු වෘත්තීය ජීවිතය අදින් පසු ඉතිහාසගත වනු ඇත.

නමුත් මේ මිනිසා තුළ ඒ වෙනුවෙන් කිසිදු අමනාපයක්, පසුතැවීමක් නොමැති අතර ඒ වෙනුවට ඔහු තුළ අදත් තිබෙන්නේ තමන් සේවය කළ ආයතනය සම්බන්ධයෙන් කෘතවේදිත්වය පිළිබඳ හැඟීමකි. ‘‘අවැසි නම් මතකයට මා උන්නු බව රුහිරු සුවඳක් ව තබා යමි“ යැයි ඔහු කියයි. එපමණකින් නොනැවතී සැළලිහිණි කෙම්බිම පිපෙන තවත් මල්වලට පිපෙන්නට ඉඩ හැර තමන් නික්ම යන බවම කියයි. ඔහුගේ මුහුණු පොතේ සටහන් ව ඇති ඒ සටහන අපි මෙහි පළ කරමු.

අදයි අවසන් දවස
2018.02.12.

සැරද..!
සැළලිහිණි මිතු සඳ

නිමා කර මෙහෙවර
සමු ගනිමි
සමු දෙන්න..

ආ මඟ මියුරු ය
විටෙක බිහිසුණු විය
තියුණු විය දිවි රැක්ම
සියල් ඉවසුම නුඹ ම විය

කළු කෙහෙරැල්ල
සුදු වී ය
කාලය සමඟ නුඹ තුළ
දිය වී ය.
නුඹ දුන්නු දේ අපමණ
මතකයක් කොට රැගෙන යමි
අවැසි නම් මතකයට මා උන්නු බව
රුහිරු සුවඳක් ව තබා යමි

සැළලිහිණි කෙම් බිම
තවත් මල් පිපෙනු ඇත
පිපෙන්නට ඉඩ හැර එ මල් රැස
සබඳ මම යමි
සමු දෙන්න...

චිරං ජයතු සැළලිහිණි මිතු සඳ..!!!!!

අනුරසිරි හෙට්ටිගේ
2018 පෙබරවාරි 12

යහළු මද නළ කැටුව - ආ විලස නික්ම යන සොඳුරු ලේඛකය, අප ඔබ සමග ය. ඔබ තව තවත් ලිවිය යුතුමය! නොනිඳන පන්හිඳෙන් ඒ ජීවන ගීතය දැන් ඉතින් ‘පූර්ණ කාලීනව‘ම ලිවිය යුතුය!

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment