හත්පෙති මලින් ජීවිතය සොයන පණ්ඩක පුත්‍රයෝ

හත්පෙති මලින් ජීවිතය සොයන පණ්ඩක පුත්‍රයෝ

“උඹ කැමති මොන පාටද? කහ, රතු, තදනිල්,කොළ, තැඹිලිපාට, දම්, ළා නිල්, පාට හතයි. ඉල්ලපන් ඕන දෙයක්. දෙනවා මං පණං අටක්.”

“ඔය සුදු පාට අරලිය මලක්.අනික පෙති හතකුත් නැහැ. පහයි”

“ඒකට කමක් නැහැ.ඉල්ලපන්කො වරමක්”

“උඹ දන්නව මං ඉල්ලන වරම මොකක්ද කියල”

අනුරසිරි හෙට්ටිගේ “පණ්ඩක පුතු වස්තුව” නවකථාවෙන් ශේන්යා කියන අමුතුම පිරිමි ළමය ගැන අමුතු කතන්දරයක් ලියලා තිබුණ. අමුතු පිරිමි ළමයා කිවුවට මේ පිරිමි ළමය අමුතුම අමුතුයි බැලූ බැල්මටම. හිටගෙන මූත්‍රා කරන්න කියල පිරිමියාට සින්නක්කරව කියල දීලා තියෙන කොදෙව්වක ශේන්යා කැමති වාඩිවෙලා මූත්‍රා කරන්න. ඒක ලිංගික අවයවවල ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ශේන්යාගේ කැමැත්ත සම්බන්ධ ප්‍රශ්නයක්. දවල්ට රෑට එකවගේම කැකෑරෙන, නළියන, දඟලන මිනිස් පොදි පිටින් එහෙ මෙහෙ දුවන ශ්‍රී ලංකාවෙ ආර්ථික නගරය කොළඹ අස්සට වෙන්න තිබුණ වත්තක ජීවත්වෙන ශේන්යා එක පැත්තකින් වත්තට උරුමවෙච්ච සමහර ඇට්ටකරකම්වලින් කාඩ වෙච්ච කොල්ලෙක්. අනෙක් පැත්තෙන් පුංචි කාලෙ ඉදලම “වලෙන්තින් කතායෙව්” ගෙ හත්පෙති මගේ කතාව කියවල හත්පෙති මලෙන් ජීවිතය හොයපු අමුතු ඉලන්දාරියෙක්. මේ ඉලන්දාරියගෙ කතාවට 2018 ෆෙයාවේ ගාලු සාහිත්‍ය උළෙලේ ප්‍රශස්තතම නවතකාවට හිමි ගෞරවය ලැබුණ. අනෙක් පැත්තෙන් ගත්තාම ශ්‍යාම් ශෙල්වදොරෙයිගෙ අමුතු ඉලන්දාරියා (Funny Boy) සහ මෝසම් මුහුදේ පිහිනීම, (Swimming in the monsoon sea) අනුරසිරි හෙට්ටිගේ ගෙම “බැඳ මාරිය”, චන්ද්‍රරත්න බණ්ඩාරගෙ “වළාකුළු බැම්ම”, ශාන්ති දිසානායකගෙ “අංගනා” වගේ විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාවන් පිළිබඳ සඳහන්වුණු කෘති අතරට අලුතෙන් එකතුවුන කෘතිය වුන “පණ්ඩක පුතු වස්තුව”ට සම්මානයක් ලැබුණ. මේක අනුරසිරි හෙට්ටිගේ දිනපු සම්මානයක් විතරක් නෙවෙයි. සමරිසි, සංක්‍රාන්ති සමාජභාවීය, අන්තර් ලිංගික යනාදී ඕනෑම අනන්‍යතාවයෙන් යුතු මිනිස්සුන්ගෙ ජයග්‍රහණයක්. එයට හේතුව මෙවැනි නවකතාවක් ලියන එකම අභියෝගයක් වන නිසා.

බෞද්ධ දර්ශනයෙ පණ්ඩකයෝ කියල විස්තර කරල තියෙන්නෙ කවුද කියන එක ගැන තවම හරිහැටි අවබෝධයක් සමාජයට නැහැ. සමහරු හිතනව පණ්ඩකයෝ කියන්නෙ සමරිසි එහෙමත් නැත්නම් පොදු භාෂාවේ සමලිංගික කියන පිරිමින්ට කියන නමක් කියල. තවත් අය හිතනව තමන් ඉපදුණු ශරීරයට ප්‍රතිවිරුද්ධ මනසක් ඇතිව ඉපදෙන සංක්‍රාන්ති සමාජභාවීය අය (Transgender) පණ්ඩකයො කියල. තවත් අය හිතන්නෙ ලිංගික අවයව මනාව පිහිටපු නැති අන්තර් ලිංගික එහෙමත් නැතිනම් ඉංග්‍රීසි භාෂාවේ Intersex කියන අය පණ්ඩකයො කියල. මේවා මහ බර බර වචන. පොදු සමාජයට බැස්සොත් සමලිංගිකයො, පොන්නයො, ලොල්ලො, නපුංසකයො, සබ්ජෙක්ට්කාරයො, අයිටම්කාරයො, සමනළයො ආදී එක එක ජාතියේ නම් තියෙන මිනිස්සුන්ට කියන නමක් කියල. ශේන්යගෙ කතාවෙන් අනුරසිරි හෙට්ටිගේ මහත්තයා උත්සාහ කරල තිබුණ වෙනස් ලිංගික අනන්‍යතා තියෙන මිනිස්සුන්ගෙ ඇතුළාන්තය හොයාගෙන යන්න. ශේන්ය වෙලාවකට පිරිමි එක්ක යනව. වෙලාවකට හාමුදුරුවො එක්ක, පල්ලියේ පාස්ටර් විල්සන් එක්ක, කුරුදු ස්ටෝරුවෙ හිටපු පියසේන එක්ක, විශ්‍රාම යන්න ඔන්න මෙන්ම හිටපු රාජරත්නම් මහත්තයා එක්ක වගේම ශේන්යා ගෑණුන්ටත් ආදරය කරනව. ලිංගිකව හැසිරෙනව. එතකොට ශේන්යට තියෙන්නෙ තමන් කැමති කාටද කියන ප්‍රශ්නය නෙවෙයි. උප්පැන්නෙට නම දීපු තාත්තා ඇත්තම තාත්තා නෙවෙයි කියල දැනගෙනත් මැරෙන්න දගලන තාත්තාට තාත්තෙ කියල කතාකරන්න බැරිකමත් නෙවෙයි. ශේනයාට තිබුණෙ අනන්‍යතාව සම්බන්ධ ප්‍රශ්නයක්. ගැහැණු විදියට අදින්න, ගැහැණු ළමයෙක් වගේ හිතන්න, ගැහැණු ළමයෙක් වගේ අහිංසක වෙන්න පුළුවන් ජීවිතයක්. බුද්ධඝෝෂ හිමියන් පණ්ඩක වර්ග 5ක් ගැන සඳහන් කරයි. 1 ‘අසිත්ත පණ්ඩක’: මුඛ ලිංගික ඇසුරෙන් ලිංගිකව තෘප්තිමත් වන පුද්ගලයා 2‘උසුය පණ්ඩක’: අනික් අය ලිංගිකව හැසිරෙනු බලා ලිංගිකව තෘප්තිමත් වන තැනැත්තා 3 ‘ඔපාක්කමික පණ්ඩක’: විශේෂ උපක‍්‍රමයක් යොදා ගෙන ශුක‍්‍රාණු පහ කරන තැනැත්තා 4 ‘පක්ඛ පණ්ඩක’: සඳ නැගෙන කලාවට අනුව ලිංගිකව උත්තේජනය වන තැනැත්තා හෝ දෙසතියකට වරක් අඩ සඳ නැගෙන විට ලිංගිකව උත්තේජනය වන තැනැත්තා 5 ‘නපුංසක-පණ්ඩක’: පැහැදිලි ලිංගික අවයව නැති පුද්ගලයා, ‘නපුංසකයා’: ලිංගික අවයව නැතිව ඉපදුනු පුද්ගලයා. ශේනයාගේ කතාවට පණ්ඩක පුත්‍ර කතාවස්තුව කියල කතුවරයා යොදාගෙන තිබුණට ශේන්යාට තිබුණෙ බෞද්ධ දර්ශනයේ සඳහන් වන ආකාරයේ පණ්ඩක ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා ශේන්යා පණ්ඩකයන්ගෙ ගොඩට දමන්න ටිකක් අමාරුයි.

එහෙත් ශේන්යා සම්මතය යැයි කියාගන්න ගොඩක් දේවල්වලට අභියෝග කරනව.

“ අන්ධකාර හන්දිය මැද්දෑවෙ බෝධි වටරවුමක්.බෝධි ප්‍රාකාර අඳුරෙ ඉදන් පාරට හොර අඩි කියපු ගැහැනිය මාව දැකලා නැවතුණා. එයා එක අතකින් සාය අල්ල ගෙන අනික් අතින් හැට්ටෙ බොත්තම් පිරිමදින්න ගත්තාම මං කුකින් ක්ලාස් එකේ ළමයින්ට සැම්සන් කියා දුන්න ‘කැට් වෝක්’ එක අනුකරණය කරමින් එයා ළඟින් ගියා.

නොදකින් පොන්නය

ගෑනි කාරල ‘තු:’ කියල කෙළ පාරක් තාර පාරට අතෑරියා. “බඩ රස්සාවට මේ ජාමෙත් හෙනහුරෝ පාත් වෙන හැටි.”

මං ගමන නවත්තල කලිසමේ සිප් එක ඇරලා මගේ අංග තුලාව එළියට ගත්තා. ඒකි අතකින් කට වහගෙන පස්සට පැන්න.ඒ ගෑනි මගේ අංග ජාතකේ දැකල මොනව හිතන්න ඇද්ද? පොන්නයන් කියන්නෙ පිරිමින්ට තියෙන කිසිම දෙයක් නැති මිනිස්සු කොට්ඨාශයක් කියන මිථ්‍යාව ඒ තිගැස්සීමත් එක්කම නැතිකරගන්න ඇති. මේ රටේ ගෑනුන්ට තරම් පිස්සුවක් වෙන කිසිම රටක ගෑනියකට නැතුව ඇති. මජ හිනාවෙවී පයින් යද්දී මාව පහුකරන් ගිය ආටෝ එකක් එකපාර නැවතුණා. මං වාහනේට එබුණා.

“අද කෝඩේ.මාව උසාවිය ළඟට දාපන් අයියෙ.”

මැදිවයසෙ ඩැයිවරයා කෙට්ටු සරම්කාරයෙක්.උගේ හිනාව මනමාලයි.

“සල්ලි එපා මල්ලි.”

නාකිය වල්ම වල් විදියට ඇහැක් ගැස්සුව.ඌ ඉල්ලන්නෙ මොනවද කියල මට තේරෙනව. රත්තරන් එක්ක බුදියගෙන ආපු මිනිහෙකුට තබක්ක එක්ක මොන මගුලක්ද?

“මට ඒඩ්ස් පොසිටිව් අයියෙ. කමක් නැද්ද?.”

යකෝ මේකා වාහනේ ඉස්සරහට ගත්තෙ රතු රෙද්දක් දැක්ක ස්පාඤ්ඤ ගොන් පොර වස්සෙක් වගේ. මේ සමාජෙ එහෙම එකක්. ආශාවට ඉක්මණින් වහල් වෙනව. ඒ වගේම සර්දාව ඉස්සර කරන් නිවන් යන්නත් ලොකුවට ප්‍රාර්ථනා කරනව. මේ දෙක දෙපැත්තට අදින එළ හරකයි මීහරකයි කියලා නොදන්න එවුන් කවදා නිවන් යාවිද”.

මේ ටික උපුටා දැක්වුයේ ශේන්යාගෙ කතාන්දරෙන් අනුරසිරි හෙට්ටිගේ කියන නවකථාකරුවා අපිට ජීවිතය කියල දෙන නිසා. ඒ ජීවිත ඇතුළෙ ඉන්නෙ මිනිස්සු විතරයි. ඒත් මිනිස්සු වුණ අපි කරන්නේ අනුන්ගෙ ජීවිතවල තියෙන අහුමුළු හොයනවා. කකුල් දෙක අස්සෙ තියෙන්නෙ මොකද්ද කියල හොයල, ඒකෙ දිග, පළල, උස, ගැඹුර හොයල ඒ අවයව පාවිච්චි කරන්නෙ කා එක්කද කියන එකත් හොයනව. එහෙමත් හොයල මදිවුණාම වැඩේ සාර්ථකව කරන්න පුළුවන් වුණාද කියලත් හොයනව. ජීවිතය විදවන්න නෙවෙයි විඳින්න ඕන කියල ශේන්යා අපිට කියල දෙනගමන්න එයා ජීවිතය විඳවන එක, විඳවීම ඇතුළෙත් ජීවිතය හොයන එක හරිම අපූරු දෙයක්. ශේන්යා සංක්‍රාන්ති ගැහැණියක් වුණත්, ගැහැණු ලාලසාවට බර සමරිසි පිරිමියෙකු වුණත් සමාජයට කියල දෙන්න හදන්නේ සම්මතයි කියල කුට්ටිය පිටින් ලාංඡනේ ගහන අච්චුවක ඉපදුණේ නැත්නම් විවිධ ලිංගික අනන්‍යතා සහිතවූවන්ට ජීවත්වෙන්න අමාරුයි කියන එක. කොච්චර ඉගෙනගන්න පුළුවන් වුණත්, තමන් කවුද කියන එක පිපාසයෙන් වගේ හොයාගෙන යද්දී හතිවැටෙන එක, කඩන්වැටෙන එක ජීවිතය කඩදා දමන්න තරම් ප්‍රබලයි කියන එක.

“මල් පෙත්තේ මල් පෙත්තේ
උතුරු දෙසට - දකුණු දෙසට
බටහිරටත් නැගෙනහිරටත්
ඉගිළ ඉගිළ මෙහැම දෙසට
කැරකීලා ඇවිත් බිමට
ම කියන දෙය කරදෙන් මට” කියල ඉල්ලුවත් ශේන්යා ඉල්ලන එයාගෙ අයිතිය හොයල දෙන්න අරලිය මල් පෙත්තකට බැහැ. ශේන්යාම කියන විදියට එයා අයිති විශාල මිනිස් පවුරකට. ඒ මිනිස් පවුරේ එක් සාමාජිකයෙක් වුණත් ශේන්යා හොයන ජීවිතය එතන තිබුණෙ නැහැ. තට්ටම් දෙක ලොකුවට පිහිටලා තිබුණා නිසා හරි, වෙනස් ඇවතුම් -පැවතුම්, සිතුම් -පැතුම් තිබුණ නිසා හරි නිසා ශේන්යාව දඩයම් කරගන්න, මුල්ලකට කොටු කරගන්න උත්සාහ කරපු මිනිස්සු ප්‍රමාණය වැඩිවෙන තරමට ශේන්යට ඇත්තටම ආදාරය කරපු, ශේන්යාගෙ ජීවිතය ගැන හිතපු අය හිටියෙ හරිම අඩුවෙන්. පිරිමි ළමයින් ගොඩෙන් කොන් කරන ශේන්යාට, පාසලේදී ගැහැණු වැසිකිලියට ගියාම අපහසුතාවයට පත්වෙන්න වුණ ශේන්යා වගේ මිනිස්සු දහස් ගණනින් සමාජයෙන් පොඩි හරි පිළිගැනීමක් ලැබෙනකම් බලාගෙන ඉන්නව.

කතුවරයා කියනව වගේම
“GOD IS MERCY
MERCY IS EASY
                   BUT
LIFE IS CRAZY” කියල හිතාගෙන ඔවුන් ජීවත්වෙනව.

- තුෂාර මනෝජ්

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment