පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නන්න - ජනපතිගෙන් අභියෝගයක්.


පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්නනැයි ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තුවන බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපල සැලකිල්ලට ගෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කරන්නැයි මාධ්‍ය හරහා එල්ලවී බලපෑම් සැලකිල්ලට ගෙන ඔහු එම පියවර ගැනීමට යයි.

කෙසේවුවද, පවතින පාර්ලිමේන්තුවේ අගමැති පදවිය යෝජනා කළහොත් තමන් එය භාර නොගන්නා බව පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඒ වෙනුවට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහ මැතිවරණයක් කැඳවන මෙන් යෝජනා කිරීමට බලාපොරොත්තුවන බව පවසයි.

හිටපු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ සෙනසුරාදා (පෙබරවාරි 10) පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

 එජාප තනි ආණ්ඩුවක් !

 මේ අතර එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකඟතාව ලැබී ඇතැයි 'අද' පුවත්පත වාර්තා කරයි.

ඊයේ (11දා) රාත්‍රියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් පැවැති අතර, එහිදී ජනාධිපතිවරයා මෙම එකඟතාවට පැමිණ තිබේ.

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තිවලින් සමන්විත එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් වහාම නිර්මාණය කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂ අමාත්‍යවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ(11දා) පස්වරුවේදී දැනුම්දී තිබිණි.

එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය එක්ව තවදුරටත් ජාතික ආණ්ඩුවක් පවත්වාගෙන යා නොහැකි බවත්, එබැවින් වහාම එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් නිර්මාණය කරන ලෙසත් අමාත්‍යවරුන් විසින් මෙහිදී ඉල්ලා තිබිණි.

එය එක්සත් ජාතික පක්‍ෂයේ දැක්මක් සහ ආර්ථික ප්‍රතිපත්තිවලින් සමන්විත ආණ්ඩුවක් විය යුතු බවද මෙහිදී අමාත්‍යවරුන් අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබේ.

ජාතික ආණ්ඩුවක් සඳහා එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ අතර පැවැති ගිවිසුම පසුගිය දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ බැවින් ඕනෑම අවස්ථාවක වෙන්ව තනි ආණ්ඩුවක් නිර්මාණය කරගැනීමේ අවස්ථාව පක්‍ෂ දෙකටම පවතී.

බහුතරය පෙන්වන්න අගමැති සුදානම්

මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ ශ්‍රීලනිප පාර්ශව ආණ්ඩුවෙන් ඉවත්වන ඕනෑම මොහොතක එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා අග්‍රාමාත්‍යවරයා සූදානමින් සිටින බවය.

මේ වන විටත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණට පාර්ලිමේන්තුව තුළ කතානායකධූරය හැරුණු කළ මන්ත්‍රීධුර 106ක් තිබෙන අතර තවත් මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ තනි ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලැබුණහොත් ඒ සඳහා එකඟතා ඇතිකරගෙන සිටින බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment