සුන්දර මාදම්පාවිල අසුන්දර කරන්නේ කවුරුන්ද? වගකිව යුත්තන් නොසොල්මන්

සුන්දර මාදම්පාවිල අසුන්දර කරන්නේ කවුරුන්ද? වගකිව යුත්තන් නොසොල්මන්
 
ඔවුන් පවසන්නේ යාබද පෞද්ගලික සංචාරක හෝටලයක් වෙල්යායකට අයත් ඉඩම් කොටසක් මිල දී ගෙන එම කොටසද සමග ගං ඉවුර ගොඩ කරන බවයි.
 
සුවිසල් විලක් ලෙස ප්‍රකට මාදම්පාවිල, මාදම්පාගග යනුවෙන්ද හදුන්වනු ලබයි. කඩොලාන සම්පතින් අනූන මාදම්පාවිල අප රටේ සොබාදහමේ අසිරිමත් නිර්මාණයකි. මාදම්පාවිල ආශ්‍රිතව අප රටේ වැදගත්ම කඩොලාන පරිසරයක් පිහිටා ඇත. දුර්ලභම කඩොලාන විශේෂයක් වන ගිංපොල් ශාකයද මෙහි පිහිටා ඇත. ගිංපොල්, තාල වර්ගයේ එකම කඩොලාන විශේෂයයි. මාදම්පාවිල ආශ්‍රිතව දූපත් 20 කට වඩා වැඩි ප්‍රමාණයක් පිහිටා ඇත. 
 
අම්බලන්ගොඩ, ගොඩහේන ග්‍රාමයේ ගම්මැද්දේගොඩ කුඹුරුයාය, තුන් හවුලට අයත් භූමියේ කොටසක් හා ගංඉවුරේ කොටසක්ද අයත් වන සේ කඩොලාන භූමිය මෙසේ ගොඩකරමින් සිටින බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. මාදම්පාගගේ කලදූවට ආසන්න ගංඉවුරේ කොටසක් විශාල යන්ත්‍ර සූත්‍ර යොදා කළුගල් බැම්මකින් වටකොට ගොඩකරමින් සිටින අයුරුද එහි ගිය අපට දක්නට ලැබුණි.
A kadolana7
 
ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ඉඩම් ගොඩ කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේද නිලධාරීන්ගේ අනුදැනුම ඇතිව සිදුකරන බවයි. මෙම ඉඩමේ පැති බැම්මක් ඉදිකර, පීවීසී කොටුදැල් භාවිතාකර වැටක් ඉදිකිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනුමැතියක් ලබාගෙන එම අනුමැතියට අදාළ කොන්දේසී සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් මෙම භූමිය ගොඩ කරමින් සිටින බව මේ සම්බන්ධයෙන් කල සොයා බැලීමේදීද තහවුරු කරගැනීමට හැකිවිය. 
 
මාදම්පාගග ඉවුරේ සිට අඩි 30ක දුරින් දැල්වැට ඉදි කළ යුතු බවත් රක්ෂිත සීමාවේ පස් ඉවත් කිරීම හෝ  අලුතින් පස් දැමීම නොකළ යුතු බවත් එම කොන්දේසී අතර සඳහන් වේ. කඩොලානවලට කිසිදු හානියක් නොකළ යුතු බවද ඇතුළු කොන්දේසී 08 ක් එහි සඳහන් වන අතර මෙම ගොඩ කිරීම සිදුකරනු ලබන්නේ මෙහි සදහන් සියලුම කොන්දේසී උල්ලංඝනය කරමිනි. මෙම කොන්දේසිවලට අනුව අදාළ වැට ඉදිකිරිම සිදු කරනවාද යන්න සොයා බැලීම සදහා පත්කර ඇත්තේ වාරිමාර්ග දෙපාර්මේන්තුවේ කාර්මික නිලධාරීවරයා මේ වන විට විශ්‍රාම ගොස් සිටින අතර ඔහු මේ සම්බන්ධයෙන් කිසිවක් සොයා නොබැලූ බව ප්‍රකාශ කරන ගම්වාසීන් එසේ වීම සම්බන්ධයෙන් සැකයක් පවතින බවද ප්‍රකාශ කරයි.
A kadolana 5
 
මෙම අනවසර ඉදි කිරීම සම්බන්ධයෙන් ගොඩහේන ප්‍රදේශවාසීන් 47 දෙනෙකුගේ අත්සන් සහිතව ගාල්ල, ගොවිජන සේවා සහකාර කොමසාරිස්වරයාටද ලිපියක් මගින් දැනුම් දී තිබෙන අතර අම්බලන්ගොඩ පොලිසියටද පැමිණිල්ලක් කර තිබේ. දුර්ලභ කඩොලාන පද්ධතිය ආරක්ෂා කරදෙන ලෙස වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින ගම්වාසීහූ කුඹුරු හා වගුරු ප්‍රදේශ ගොඩ කිරීමෙන් ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බවද පෙන්වා දෙයි.
 
මේ සම්බන්ධයෙන් ගොඩහේන ග්‍රාමයේ පදිංචි තරංග ප්‍රියලාල් මහතා මෙසේ පැවසීය.
A තරග පරයලල මහත
 
"මේ ගොඩකරන වෙලට අයත් ඉඩම් කොටස අයිති වෙලා තිබුණේ අපේ ගමේ හිටපු රූපා මහත්මියටයි. ඇය ඒක වික්ක බව කියනව. මේ කොටසේ ළිඳක්  තිබුණා. රූපා නැන්දට අයත් ඉඩම අපි දන්නවා. නමුත් දැන් ගං ඉවුරේ කොටසකුත් ගොඩ කරනව. කුඹුර වුණත් ගොඩකරන එක වැරදියි. කඩොලාන සම්පූර්ණයෙන්ම කපල. මම ධීවරයෙක් ලෙසත් කටයුතු කරනවා. අපි ගගට බහින තොටුපල තිබෙන්නෙත් මෙතන. ඇල මාර්ගයකුත් තිබුණා. දැන් ඇල මාර්ගයත් වහල. තොටුපොළට යන පාරත් වහල. "
 
පාරම්පරික ගොවියෙකු වන එම් ජී විල්සන් මහතා,
A එම. ජ. වලසන මහත
 
"මෙතන තිබෙන්නේ අටහවුලේ වෙල්යායයි. මටත් අයිති කොටසක් තිබෙනවා. අපි ඉස්සර මේවායේ හොදින් ගොවිතැන් කළා. එක පැත්තකින් ගං ඉවුර. අනිත් පැත්තෙන් ඇල. මේ ගොඩ කිරීම නිසා ඇල වැහිල තිබෙනවා. වෙල හැරුණ විට අනිත් ඒවා රක්ෂිතයටයි අයිති. ඒ නිසා කිසිම කොටසක් ගොඩකරන්න බැහැ. කව්රු හරි මිල දී ගත්තත් කුඹුරු කරන්න විතරයි පුළුවන්. මේ ඉඩම් වලට ඔප්පු නැහැ. වගා නිලධාරීන් අපිට ඒවා දීල තිබෙනවා."
 
එස් ඩබ්ලිව් සුමිත් චමින්ද මහතා,
A එස. ඩබලව. සමත චමනද මහත
 
"මේ ගොඩ කරන කොටස අයිති රූප නැන්දටයි. ඒක වෙලක්. ඒක හෝටලයට අයිති නැහැ. නමුත් ගොඩ කරන කොටසට ගං ඉවුරත් අයිතියි. කඩොලාන විශාල වශයෙන් කපල. ඉතා දුර්ලභ ගිංපොල් කියන කඩොලාන විශේෂයත් තිබෙනවා. කිරල ගස් විශාල වශයෙන් තිබෙනව. කිරල ගෙඩි ඉතා පෝශ්‍යදායී ආහාරයක්. විදේශිකයන් පවා කැමතියි. කිරල මුල්වලින් බෝතල මූඩි කපනව. ගොඩකරන ස්ථානයේ කිරල ගස් විශාල වශයෙන් කපල. මුලින් ප්‍රචාරය යැව්වේ අවසර අරන් කරනවා කියල. අවසර දීල තිබෙන්නේ හෝටලයට අයත් කොටසේ දැල් වැටක් ගහන්න. ඒ අවසර දුන් ලිපිය අපි ළඟ තිබෙනව. රක්ෂිත සීමාවේ කිසිදු තාවකාලික හෝ ස්ථිර ඉදි කිරිමක් කරන්න එපා කියල තියෙනවා. අඩි 30 ක් රක්ෂිත සීමාව කියල තියෙනවා. ගොඩ කරන හරියේ ඉදල ගංඉවුරට අඩි 15 ක් වත් නැහැ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ නිලධාරියා කිසිවක් සොයා බලල නැහැ. මෙහෙම කළාම ගංවතුර කාලෙට අපේ ගෙවල් එක්කම යටවේවි."
 
සුමිත් අබේසූරිය මහතා,
A . සමත අබසරය මහත
 
"අපි පොඩිකාලේ ඉදන්ම මෙතන වෙලයි, ඇලයි තිබුණා. දැන් දෙකම නැහැ. වෙල ගොඩකරල. ඇල වහල. ඇල උඩයි හෝටලයේ තාප්පය බැඳලා තිබෙන්නේ. වෙල සල්ලි වලට ගත්ත කියලයි කියන්නේ. හෙන්දිරිස් සිංඥො සීයගේ වෙලත් මෙතන තිබුණා. විශාල පාරිසරික විනාශයක් සිදුකරල තිබෙනවා. කඩොලාන කපපු එකම කොච්චර අපරාධයක්ද? ගංඉවුරේ බැරල් බස්සලයි කොන්ක්‍රීට් කණු දාල තිබෙන්නේ. මේ ස්ථානය පැරණි තොටුපලක්. ඩවිනිස් සීයල, ජයාජි අයියල ඔරු ගොඩකළේ මෙතන තොටුපලට. දැන් තොටුපලට යන්නත් බැහැ. මිරිදිය ධීවර කර්මාන්තය ඉවරයි. අළුත් පරම්පරාව මේව කරන්නේ නැහැ. වයසක ධීවරයන්ට හෝටල්කාරයෝ එක්ක හැප්පෙන්න හයිය නැහැ. ඔවුන් විශාල වශයෙන් සල්ලි වියදම් කරල විරෝධතා වලක්වනව." 
 
ආර්. කුමාර මහතා,
 A ආර. කමර මහත
"මේ ගැන කියන්න අපි පොලීසි ගියා. නීතියෙන් විසදුමක් ගන්නකම් මුල් කාලයේම මේක නතර කරන්න පොලිසියට තිබුණා. එහෙම කළේ නැත්තේ ඇයිද කියල අපි දන්නේ නැහැ. පරිසරය විනාශ කළාම අපේ ප්‍රදේශයත් ඉතියෝපියාවක් වේවි. හෝටලයට අපි විරුද්ධ නැහැ. කඩොලාන විනාශ නොකර, ගංඉවුර ගොඩකරන්නේ නැතුව හෝටලයට අයත් කොටස සංවර්ධනය කර ගන්නවාට අපි විරුද්ධ නැහැ. "
 
පී. ඒ. චන්දි මහත්මිය,
A ප. ඒ. චනද මහතමය
 
"අපි මේ ගමේ උපන් අය. අපේ ප්‍රදේශයේ පරිසරය අපිට වටිනවා. පරිසරය විනාශ වෙලා ගියාම අපිට හුස්ම පිරිසිදු වාතයවත් නැති වෙනවා. විනාශ කරපු කොටසේ කිරල, ගිංපොල්, වල් කදුරු වගේ කඩොලාන විශාල වශයෙන් තිබුණා. කිරල ගස් මුල් පිටින්ම ගලවල. පොලීසිය කියනවා, මේවා අපිට අදාළ නැහැ කියල. ඒක පුදුම කතාවක්. අපේ ගමේ පරිසරය, පොලීසියට වඩා අපිට අදාළයි. පොලීසිය යුක්තිය හා සාධාරණත්වය ඉටුකල යුතුයි. පිට ප්‍රදේශවල අයට ඇවිත් අපේ ගම විනාශ කරන්න දෙන්න පුළුවන්ද? හෝටලයට අයත් ඉඩමේ දැල් වැටක් ගහන්න අවසර අරන් ගගේ රක්ෂිතයත් අල්ලගෙන ගොඩ කරනවා. අපේ ප්‍රදේශයේ වැසි වතුර බැහැල යන ඇලත් වහල. ඇල උඩ හෝටලයේ තාප්පය බැදල. වෙල මිලදී ගත්තත් ගොඩ කරන්න පුළුවන්කමක් නැහැ."
 
ගාල්ල දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ විශ්‍රාමික කාර්මික නිලධාරී එම්. ඊ. මෙන්ඩිස් මහතා,
 
"මේ ඉඩමේ පැති බැම්මක් ඉදි කරන්නත් පීවීසී දැල් වැටක් ගහන්නත් අවසර ඉල්ලා තිබුණේ 2017 සැප්තැම්බර් මාසයේ. ඒ සඳහා කොන්දේසි 08 ක් යටතේ 2017.10.12 දින දපස/දිවාඉ/සං3/52/10/17 ලිපිය මගින් අවසර ලබා දුන්නා. එම ලිපියේ පැහැදිලිව තිබෙනවා ගං ඉවුරේ සිට අඩි 30 ක් ඈතින් වැට ඉදිකරන්න කියල. අඩි 01 ක් උස බැම්මක් මතයි මේ වැට ඉදිකරන්න කියල තිබෙන්නේ. අළුතෙන් පස් දාන්නත්, තිබෙන පස් ඉවත් කරන්නත් එපා කියල තිබෙනවා. මේ වන විට අදාළ කොන්දේසි කඩකර ඇති බව කියනවා. මේ ඉදිකිරිම පිළිබදව අධීක්ෂණ පැවරුවේ මටයි. දැන් මම විශ්‍රාමිකයි. ගොවිජන සේවා දොපාර්තමේන්තුවටත් ලිපියේ පිටපතක් යැව්වා. ඒ අයත් සොයා බැලිය යුතුයි."
 
කෘෂිකර්ම පර්යේෂණ හා නිශ්පාදන සහකාර, බී චන්ද්‍රකුමාර මහතා,
 
"දැල්වැට ගැසීමට අනුමැතිය දුන් ලිපියේ පිටපතක් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට ලැබිල නැහැ. මම පසුගිය ඉරිදා මෙහි පිටපතක් ගෙන්නා ගත්තා. මේ ලිපියේ තිබෙන කොන්දේසි කඩකර තිබෙනවා. ඒ ගැන මමත් දැනුවත් වුණේ ලිපිය ලැබුණට පස්සෙයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ නිලධාරියා මේ ගැන දැනගන්න ඕනෑ. වෙල්යායක් ගොඩකරනවා නම් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ගන්න ඕනෑ. මේ සම්බන්ධයෙන් අපි දැනුවත් වෙලා නැහැ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ නිලධාරියා අධීක්ෂණය කරල නැහැ. නව ඉදිකිරිමක් කරන විට ප්‍රාදේශීය සභාවෙනුත් අනුමැතිය ගන්න ඕනෑ. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සොයා බලනවා."
 
මෙම ඉදිකිරිම කරන බව කියන ගොඩහේන විලාස් හොටලයේ කළමණාකරු වසන්ත වෙත්තසිංහ මහතා,
"අපිට තව හෝටල් දෙකක් තිබෙනවා. අපේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමීවයි. අපි ගොඩ කරන කොටස, ගඟේ  රක්ෂිතයට අයිති නැහැ. ගොඩ කරන්නේ අපි සල්ලිවලට ගත්ත කොටසක්. ඒකට සින්නක්කර ඔප්පු තිබෙනවා. අපි පරිසර හිතවාදීන්. අපි පරිසරය ආරක්ෂා කරනවා. ගඟට ඩීසල් මිශ්‍ර වෙනවට අපි පාවිච්චි කරන්නේ විදුලි බලයෙන් ක්‍රියාකරන බොට්ටුයි. මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් කරනවට අපි විරුද්ධ නැහැ. අපිට සගවන්න කිසිම දෙයක් නැහැ." 
 
A kadolana 6
A kadolana 2
A kadolana 2
A kadolana 3
A Kdolana1
 
ජයකාන්ත ලියනගේ   -  බළපිටිය
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment