'අක්කරෙයිපත්තු අක්ෂර!'
චලක ප්‍රමුදිත ලුණුවිලගේ තරුණයා මේ අක්ෂර පෙළ ගස්වන්නේ අපට අතීතයේ මඟ හැරුණු, වර්තමානයේ මඟ හැරෙන සහ අනාගතයේදී ද මඟ හැරෙන්නට නියමිත ඇත්ත වෙනුවෙන් නොවෙයිද?
"සිංහලෙන් දුරු වෙච්ච
ජාතියෙන් වෙඩි වැදුණ
තුවාලෙන් ලේ ගලන
අකුරකින් පටන් ගෙන,
ලෝහිතෙන් ලියැවුණ
කවියකින් විඳින්නට
කල් අරන් වැඩි වැන්න..."
ඔන්න, ඔය කියන මහ ජාතියේ පසුතැවෙන හර්ද සාක්ෂිය අක්ෂර ලෙසින් පෙළ ගැසෙන්නේ බොහොමත් ම කලාතුරකිනි. එවන් වූ පසුබිමක පසුතැවිල්ලට එහා ගිය විසඳුමක් වෙනුවෙන් අප අහස දෙස නෙත් යොමා කන්නලව් කර කර හිඳීමෙන් ඵලක් නැත. ඒ වෙනුවට මේ තරුණ කවියා අපට කරන යෝජනාව ආරම්භයේ දී ම ඔබේ අවධානය හිමි කර ගත යුතුය.
"අක්කරෙයිපත්තුවේ
අක්කර ගණන් දිගට
වක්කරන කවියකට
අක්ෂර කොහෙන් ගන්නද?..."
"අක්කරෙයිපත්තුවෙන්
පත්තුවක් බැඳ ගනිමු
දැන්වත්..."
නමුත් අප තවමත් පත්තුව බැඳ ගන්නට කිසිම සූදානමක් නැත. තුවාලය හද පාර පාරා වේදනාවේ නිය විලිස්සමින් හිඳියි. සහනය පිළිබඳ සරල ම අදහස් පවා ඊනියා දේශප්‍රේමය තුළ අවසන් ගමන් යවා අහවර ය. ඉදින් අපි තව දුරටත් උත්කර්ෂයට නැංවෙන බ්‍රිගේඩියර්වරුන් දෙස බැතිබරව බලා හිඳ සැනසෙන්නෙමු. එවන් මොහොතක් පිළිබඳ සජීවී සාක්ෂිකරුවෙකු වෙමින් චලක මේ කියන නිදහස ගැන අදහස මොන තරම් නම් උත්ප්‍රාසජනකද?
"උපතක් ය කියන්නේ මෙයට ම ද මන්දා
තවම ගන්ධබ්බ ම යි භවය නැති හින්දා
හිස ම අතගාගෙන මුළු කෙස්ස සින්දා
ජාතියක අයිතියක් පන්තියක බැන්දා
ප්‍රශස්ත ම ප්‍රශස්තිය සද්දෙට ම ගැයෙනා
වසරකට වතාවක් එක ම සර වැයෙනා
සිංහ කොඩි කඩපිලේ වැල්වල ම ලෙළෙනා
කළු කොඩිය අතෑරපු සිංහයොත් වැනුනා..."
තමන් ගේ මතය වෙනුවෙන් නිර්භයව පෙනී සිටින්නන්ට එදිරිව 'ඒ කාලෙ හම්බ වුණා නම් තෝත් ඉවර කරනවා' යනුවෙන් ප්‍රතිචාර දක්වන්නේ චලක මෙන්න මේ කියන සිංහයන් විය යුතුය. කිසි දිනෙක වෙනස් හෝ අලුත් නොවන නිදහසේ කතිකාවතක සිංහයන්ට තලු මැරීම පිණිස එකම ගොදුර විවිධ ආකාරයෙන් නැවත නැවතත් හමුවීම මොනම හේතුවක් යටතේ වුව සාහිත්‍යමය අහම්බයක් නොවන වග ඔබ නිශ්චිතව ම දැන සිටිය යුතුය. ඇතැම් විට මහ මුහුද වුව වෙරළෙහි ළය ගසා වැළපෙන්නේ ඒ බැව් දැන ඉවසිය නොහී වේදනාවෙන් විය නොහැකිද?
"කෑගහල හඬන්නේ නැතිවාට
මහ මුහුද සුසුම් ලයි හැමදාම
කවි කරල කඩදහියෙ නො ලිවාට
ඉකිබිඳින කවියක් ය හෝ ගාන..."
එසේ වුවද සමස්ත ඛේදවාචකය මධ්‍යයේ හිඳගෙන චලක අනාගතය දෙස හෙලන්නේ අසුබවාදී බැල්මක් නොවේ. එකී බැල්ම තුළ බලාපොරොත්තුව යහමින් රැඳී තිබේ. ඔහු මෙසේ ලියන්නේ එබැවිනි.
"රුක වසා ඇති පත්‍ර
හරිතයෙන් වැසුණු සඳ
කෝපයෙන් වර්ණ වුණ
සුදු රෝස පෙති මත
රුහිරු බිඳු වගුරමින්
උපන්නේ රතු රෝස මල්..."
හදිසි තත්ත්වයන් යටතේ කොනැහුණු හද චලකගේ අක්ෂර මතින් ඇවිද ගියේ තරමක් වේගයෙනි. නමුත් නිවී සැනසිල්ලේ බලා විමසිය යුතු තවත් කවි බොහොමයක් මේ පිටු අතර තැන්පත්ව තිබේ. ඒ දීර්ඝ සංවාදය මදකට කල් දමා මේ ගෙවී යන තීරණාත්මක නිමේෂයේ දී චලකගේ කවි මතින් අප නැවතත් අපව ම කොනිත්තා ගෙන බලමු යැයි අවසානයට පෙර මම ඔබට යෝජනා කරමි.
"අවන් හල් වසාගෙන
පහන් දැල් නිවාගෙන
සහන් එළියේ වරෙන්
රහස් ඇති ඉසවුවට..."
- කසුන් සමරතුංග
0 comments :
Post a Comment