මේ බුදුන් වහන්සේගේ ධර්මයද? - එම්.එම්.ජේ. මාරසිංහ

මේ බුදුන් වහන්සේගේ ධර්මයද? - එම්.එම්.ජේ. මාරසිංහ

බුදු හිමියන්ගේ පන්සාළිස් වසරක ධර්ම ප්‍රචාරක කාලය තුළ උන්වහන්සේ හෝ භික්ෂු සංඝයා හෝ ගිහි සමාජයේ පැවති පිරිත් සජ්ඣායන ශාන්ති කර්මයකට සහභාගි ව‍ූ බව දැක්වෙන අවස්ථා කිසිවක් සඳහන් නොවීම මේ සම්බන්ධව ලබාගත හැකි ප්‍රබල සාධකයකි.‍

මහාචාර්ය එම්.එම්.ජේ. මාරසිංහ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් මෙන් ම වෙනත් විවිධ තනතුරු ද දරමින් දශක තුනකට වැඩි කාලයක් මුළුල්ලේ කැලණිය විශ්වවිද්‍යාලයට සේවය කර ඇති අතර දේශ - දේශාන්තර වශයෙන් ස්වකීය ශාස්ත්‍රීය ඥානය ප්‍රකට කළ විද්වතෙකි. සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් පොතපත හා ශාස්ත්‍රීය ලිපි ලේඛන රාශියක් රචනා කර ඇති මහාචාර්ය මාරසිංහයන් මහා බ්‍රිතාන්‍යයේ බර්මිංහැම් විශ්වවිද්‍යාලයෙන් දර්ශන විශාරද (Ph.D) උපාධිය ලබාගත්තේ Gods in Early Buddhism නමැති පර්යේෂණාත්මක නිබන්ධය සඳහා ය. එතුමාගේ ‘ථෙරවාදී බුදුදහමේ පුරාණෝක්ති’ නම් වූ දීර්ඝ නිබන්ධය 1978 වසරේදී Illustrated Encyclopedia නමැති කෘතියෙහි දෙවන පරිච්ඡේදය ලෙසින් පළ වී තිබේ.

‘දෙවියන්’, ‘ලෝක’, ‘මාර’, ‘යක්ෂ’, ‘පූජා’ ආදී මාතෘකා යටතේ එතුමන් විසින් ලියා ඇති ලිපිලේඛන සහ පොත් ද බොහෝ ය. (බුදුදහම හා බුද්ධාගම, ප්‍රත්‍යක්ෂය හා විශ්වාසය ඉන් කිහිපයකි.)

මහාචාර්ය මාරසිංහයන් වෙනුවෙන් ‘නිරීක්ෂණ’ නම් වූ උපහාර ග්‍රන්ථයක් පළ වී ඇති අතර එහි සංස්කාරකවරුන් වූයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කුලතිලක කුමාරසිංහ හා මහාචාර්ය ආනන්ද විජේරත්න යි. පසුගියදා අභාවප්‍රාප්ත වූ මහාචාර්ය එම්.එම්.ජේ. මාරසිංහයන් මෑතභාගයේ දී සිංහල භාෂාවෙන් පළ කළ පොත්වල සාරය හකුළුවා ඇති මෙම ලිපිය අඩංගු වන්නේ එම උපහාර ග්‍රන්ථයෙහි ය.

මෑතභාගයේදී මහාචාර්ය මාරසිංහයන් විසින් සිංහල භාෂාවෙන් පළ කරනු ලැබූ ග්‍රන්ථ, ලිපිලේඛන ආදියෙන් මතු කළ ප්‍රශ්නය වූයේ ‘අද වන විට මේ රට තුළ ව්‍යාප්තව පවතින්නේ ගෞතම බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ද?” යන ප්‍රශ්නයයි. මේ ලිපියෙන් ද සාකච්ඡාවට බඳුන් කෙරෙන මෙය සංවාදය සඳහා ද විවෘත ය.

මිහිඳු හිමියන් ප්‍රධාන ධර්ම‍දූත පිරිස විසින් මෙරටට හඳුන්වා දෙන ලද බුදුදහමට පදනම් වූයේ තුන්වන ධර්ම සංගායනාවේ දී අනුමත කරන ලද පාලි පිටක ග්‍රන්ථයන් පරිහරණය කළ දේශීය උගතුන්ට එම ග්‍රන්ථවල පැවති දුරවබෝධ තැන් පැහැදිලි කිරීම සඳහා මිහිඳු හිමියන් විසින් එකල ව්‍යවහාරයේ පැවති දේශීය භාෂාව ලෙස සැලකෙන හෙළ බසින් ලියන ලද අට්ඨකතා පෙළක් ද වූ බවත් ඒවා පච්චරි, මහා පච්චරි, කුරුන්දි ආදී නම්වලින් හැඳින්වූ බවත් ඓතිහාසික මූලාශ්‍රයන්ගෙන් සනාථ වේ. මෙම හෙළ අටුවා මිහිඳු හිමියන්ගේ කාලයේ සිට ක්‍රි.ව. පස්වන සියවස තෙක් වූ සියවස් අටක හෙවත් අවුරුදු අටසියයකට ආසන්න කාලයක් දේශීය උගතුන්ගේ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් වූ බව ද පෙනෙයි. එදා ‍එම කාර්යය සඳහා ඒවා ප්‍රමාණවත් නොවූ බවට ඉඟියක් හෝ පළ නොවේ. හෙළ අට්ඨකතාවලින් සමන්විත මුල් පිටක ග්‍රන්ථ හැදෑරීමෙන් සහ විමුක්ති මඟ පිළිපැදීමෙන් මේ රටේ රහතුන් බිහි වූ යුගය පාලි අට්ඨකතා යුගයේ ආරම්භයත් සමඟ අවසන් වූ බව පැහැදිලිව පෙනී යයි.

මෙතරම් දීර්ඝ කාලයක් මුළුල්ලේ මෙරට උගතුන්ගේ පරිහරණයේ හෙළ අටුවා පාලි භාෂාවට නැඟීමේ කාර්යය හෙළ භාෂා ප්‍රවීණත්වය ද නොසලකා හරිමින් පිටස්තරයෙකුට බාර දීම නොපැහැදිලි කරුණකි. බුද්ධඝෝෂ‍යන්ගේ බුදුදහම පිළිබඳ දැනීම විසුද්ධි මාර්ගය ලිවීමෙන් පමණක් මැන බැලූ මහාවිහාරිකයන් ඔහුගේ ග්‍රන්ථ‍කරණය සඳහා හෙළ අටුවා අවශ්‍ය නොවූ බව සිතීම සාධාරණ බව පෙනේ. වෙනත් වචනවලින් කිවහොත් හෙළ භාෂා ප්‍රවීණත්වය ලැබීමේ අවශ්‍යතාව බුද්ධ‍ඝෝෂයන්ට අත්‍යවශ්‍ය සුදුසුකමක් වශයෙන් සලකන ලද බවට සාක්ෂි සොයා සපයා ගත හැකි නොවන්නේ හෙළ බසින් ලියූ අට්ඨකතා ඔහුගේ කාර්ය සඳහා එතරම් අදාළ නොවීම නිසා ද විය හැකි ය. කෙසේ වුව ද බුද්ධඝෝෂයන් විසින් පාලි අට්ඨකතා සමස්තයක් වශයෙන් ගෙන විමසා බැලීමේ දී කිහිප අවස්ථාවක දීම ‘බුද්ධ’ යන වචනය මෙම ‘බෞද්ධ විමුක්ති මාර්ගය’ ද වෙනස් කර ඇති බැව් පෙනී යයි. එවැනි වෙනස් කිරීම අටුවාකතාකරුවෙකුට ගැළපෙන ක්‍රියා මාර්ගයක් වන්නේ ද යන්න විමසා බැලීම සුදුසු ය.

අටුවාව හා මූලග්‍රන්ථය යන දෙක එක ම දම්වැලක පුරුක් මෙන් එකක් අනෙක හා ගැළපිය යුතු ය.‍ එහෙත් බුද්ධඝෝෂයන් ගේ අටුවා කිහිපයක දී ම ඒවා මුල් පිටක ග්‍රන්ථවල දර්ශනයෙන් විශාල ලෙස වෙනස් වී ඇති බවක් පෙනේ. මෙම වෙනස්වීම මහාවිහාරීය අධීක්ෂණයන්ට නොපෙනී යෑම ද මේ කටයුතු සැකයක් මතු කරන්නකි. මේ ආකාරයෙන් අටුවාකාර බුද්ධඝෝෂයන් බුදු වදන් ඉක්මවා යෑම හේතුවෙන් බුදු හිමියෝ එකම කාරණය පිළිබඳ විවිධ මත ප්‍රකාශ කරන ස්ථාවරයක් නොමැති ශාස්තෘවරයෙකු බවට පත්වෙති. බුද්ධඝෝෂයන් විසින් මේ ආකාරයෙන් තථාගත ධර්මය හා දර්ශනය වෙනස් කළ අවස්ථා රැසක් ම ඔහුගේ පාලි අට්ඨකතාවලින් පෙනී යන අතර එය බරපතළ ලෙස සිදු වී ඇත්තේ බුදු හිමියන්ගේ කර්ම දර්ශනය සම්බන්ධයෙනි.

1. කර්ම දර්ශනයට කරන ලද වෙනස් කිරීම්

බුදු හිමියන් විසින් දේශනා කරන ලද කර්ම දර්ශනයට එක් කරන ලද වෙනස්කම් අතරේ වඩාත් ඉස්මතු වී පෙනෙන්නේ ඊට එකතු කළ නියාම ධර්මයන් පහක් පිළිබඳ අදහස ය. බුදු හිමියන් සමකාලීන ඉන්දීය ආගම්වල පැවැති කර්ම දර්ශනයන්ට වෙනස් නවතම දර්ශනයක් දේශනා කළ බව ඉතා මැනවින් අනාවරණය වන්නේ පාලි පිටක ග්‍රන්ථයන්ගෙනි. වෙනත් ඉන්දීය ආගම්වල මෙන් බුදුන් විසින් ද මිනිසාට අතීත කර්ම සම්භාරයක් තිබිය හැකි බව පිළිගත් නමුත් මෙම අතීත කර්ම විපාක දීම දෙස අකර්මණ්‍යව බලා නොසිට ඕනෑම අවස්ථාවක ආරම්භ කරන අනුපූර්ව ප්‍රතිපදා ශික්ෂාවට අනුව ක්‍රියා කිරීමෙන් සියලු කර්මයන් අහෝසි කරමින් නිර්වාණාවබෝධය ලැබිය හැකි බව උන්වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කර තිබේ. මෙය හුදු ප්‍රකාශයක් පමණක් නොව සමකාලීන සමාජයේ එම මඟ ගනිමින් විමුක්තියට පත් සිය දහස් ගණන් ශ්‍රාවකයන් මඟින් සනාථ කරන ලද්දක් ද වෙයි.

බුද්ධඝෝෂයන් තම ධම්මසංගනී අටුවාවේ දී නියාම ධර්ම පහක් දක්වමින්, උතු නියාමය, බීජ නියාමය, චිත්ත නියාමය, ධම්ම නියාමය මෙන් ම ධර්ම නියාමය ද ලෝකයේ ක්‍රියාත්මක වන විශ්ව නියාමයන් පහකින් එකක් බවත්, කිසිම පුද්ගලයකුට එය වෙනස් කළ හැකි නොවන බවත් පැහැදිලි ව ප්‍රකාශ කරයි. මෙය බුදු හිමියන්ගේ ඉගැන්වීම සමඟ සංවර ආකාරයෙන් ගැළපෙන්නේ දැයි තේරුම් ගැනීම අසීරු ය. මෙම කම්ම නියාම මතය සමාජගත වීම නිසා සිංහල බෞද්ධයෝ බොහෝ විට බොහෝ දේ තමන්ගේ කරුමය නිසා සිදු වේ යැයි සිතති. ඒ අනුව අකර්මණ්‍ය මානසිකත්වයක් වගා කර ගනිති. පසුබසිති. මෙය පසුගාමීත්වයක් නිර්මාණය කරයි. මෙම මතය සමන්ගේ ස්වාධීන මතයක් බව කිසි ම ආකාරයකින් නොදක්වා බුදුන්ගේ අදහසක් ම වශයෙන් එය ප්‍රකාශයට පත් කිරීම ද බුද්ධඝෝෂයන්ගේ අවංකභාවය පිළිබඳ ගැටලු මතු කරයි. කෙසේ වුව ද මෙහි දී සිදුව ඇත්තේ බුදුන්ගේ කර්ම දර්ශනය නියතිවාදී කඩතුරාවකින් ආවරණය කිරීමක් බව කිව යුතු ය.

2. කම්ම සරික්ඛතා සංකල්පය

කර්ම දර්ශනයට කරන ලද මීළඟ වෙනස් කිරීම වන්නේ කම්ම සරික්ඛතා හෙවත් සමාන කර්මයන්ට සමානවිපාක දීම පිළිබඳ අදහස සමාජගත කිරීමයි. මෙම අදහස බුද්ධඝෝෂයන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ බුදුන්ගේ ප්‍රේත වස්තු හා විමාන වස්තු ඇසුරෙනි. සමාන කර්මයන්ට සමාන විපාකදීම බුදුන් විසින් දේශනා කරන ලද්දක් නොවේ. ප්‍රේත ආත්මිකයන්, විමාන ප්‍රේතයන්, විමාන දේවතාවන් මෙන් ම රුක් දේවතා, වන දේවතා ආදීන් පිළිබඳ අදහස බුද්ධකාලීන සමාජයේ ද පැවැති මිථ්‍යා විශ්වාස වන මුත් ඒවා බුදුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද බව සැලකිය යුතු ය. ඇතැම් විට මෙම අදහස් ලාංකේය ප්‍රාග් බෞද්ධ මිථ්‍යා විශ්වාස අතරින් බුදුසමයට එකතු වී යයි සිතීමට පුළුවන. එහෙත් පැහැදිලි ව ප්‍රකාශ කළ යුතු වන්නේ ප්‍රේතයන් භූත විශේෂයක් වශයෙන් පිළිගැනීම බුදුන් අනුදත් අදහසක් නොවන බවයි. බුදුන්ගේ සර්වඥතා ඥානයෙන් දකින ලද සත්ව සහ දේව වර්ග අතර ප්‍රේතයන් හෝ විමාන දෙවිවරුන් නැති බව ද සැලකිය යුතු ය. ඉතා රසවත් ප්‍රබන්ධ කතාවලින් සරසා තිබීම නිසා ප්‍රේත වස්තු හා විමාන වස්තු අට්ඨකතා බෞද්ධ සමාජයෙහි සංසරණය වී තිබේ. ඒ හේතුවෙන් නොදැනුවත්ම වාගේ මේවා බෞද්ධ විශ්වාස වශයෙන් තහවුරු වීමක් ද සිදු වී ඇත. මේ තත්ත්වය බුදුදහම කෙරෙහි හානිදායක අන්දමින් බලපා ඇති බව සැලකිය යුතු ය.

3. පත්තානුමෝදනා සංකල්පය

බුද්ධඝෝෂයන් විසින් කර්ම දර්ශනයට එකතු කර ඇති මීළඟ සංකල්පය වන්නේ ‍පත්තානුමෝදනා හෙවත් පින් අනුමෝදන් වීම සහ පින් දීමයි. බුදු හිමියන් දේශනා කළ කර්ම දර්ශනයට අනුව කර්මයක විපාක දීම ගැලක බඳින ලද ගවයාගේ කුර පසුපස යන රෝද මෙන් වෙනස් නොවනසුළු වේ. ‍එය තිරසාර ලෙස සිද්ධ වන්නකි‍. කර්මයක විපාක ලැබෙන්නේ ‍එම කර්මය කළ තැනැත්තාට මිස අනෙකකුට නොවේ‍. කර්මය කිසිසේත් අන්සතු කළ නොහැකි ය. කර්මය සම්බන්ධ කවර නියමයක් වුව ද පින සහ පව යන දෙකටම එක සේ බලපැවැත්වෙයි. බුදුන්ට අනුව විපාක දීම විෂයයෙහි පින සහ පව අතරේ කිසිදු වෙනසක් නොවේ‍. පින වෙන අයෙකුට දීමක් හෝ වෙන අය විසින් උපයන ලද පිනක් අනුමෝදන් වීමක් හෝ කළ හැකි බවක් කිසි ම බුද්ධ දේශනයක (පිටක ග්‍රන්ථයන්හි) දක්වා නැත.

බුද්ධඝෝෂයන් තම ධම්ම සංගනී අට්ඨකතාවේ දී දාන, සීල, භාවනා ආදී පින්කිරියවත් තුන දහයක් වශයෙන් විස්තර කළ හැකි බව කියමින් එම දහයෙන් එකක් පත්තානුමෝදනා වශයෙන් දක්වයි. පත්තිදාන හෙවත් පින් දීම සහ පින් අනුමෝදන් වීම ද ඊට ඇතුළත් වන බව කියයි. කිසිම බුද්ධ දේශනයක මෙවැනි අදහසක් නොවන අතර පත්ති යන්න පින හැඳින්වීම සඳහා යොදන්නේ බුද්ධඝෝෂයන් පමණකි. එහෙයින් එහි නිරවද්‍යතාව පිළිගත නොහැකි ය. පත්ති යන වචනයේ විවිධ අර්ථ දක්වන පාලි - ඉංග්‍රීසි අකාරාදිය බුද්ධඝෝෂයන්ගේ වැරදි ව්‍යවහාරය නිසා එම අදහසට ආසන්න අර්ථයක් ගෙන දීමට බලවත් පරිශ්‍රමයක් දරා ඇති බව කිව යුතු ය.

මෙහි දී පින්දීම සහ පින් අනුමෝදන් වීම තවත් වැදගත් කරුණක් කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙයි. තුන්වන ධර්ම සංගායනාවේ දිරාජගිරික සහ සිද්ධපීත යන නිකාය දෙක පින්දීම හා පින් අන‍ුමෝදන් වීම කළ හැකි යැයි ඉදිරිපත් කළ අදහස සංගීතිකාරක භික්ෂූන් විසින් ප්‍රතික්ෂේප කරන ලද බව කතා වස්තුවේ සඳහන් වෙයි. ඒ අනුව පෙනී යන්නේ බුද්ධඝෝෂයන් ථෙරවාද පිළිගැනීමකට පටහැනිව එය නොදන්නා බව තේරුම් යන ආකාරයෙන් මෙම අදහස ථෙරවාද පිළිගැනීම්වලට එකතු කළ ආකාරයකි. මහාවිහාරීය භික්ෂූන් තම සම්ප්‍රදාය පිළිබඳ පරිපූර්ණ දැනුමකින් සන්නද්ධ ව නොසිටි බව ද මෙයින් පැහැදිලි කෙරෙයි. ව්‍යවහාරික බුදු සමයෙහි පිළිවෙත්වලට පින්දීම සහ පින් අනුමෝදන් වීම එකතු වීම සිදු වූ බව පෙනී යන්නේ ද මේ අනුසාරයෙනි‍. තුන්වෙනි ධර්ම සංගායනාවේ දී පින් දීම කළ හැකි යැයි තර්ක කළ රාජගිරික සහ සිද්ධාර්ථික යන නිකායිකයන් ඒ සඳහා ඉදිරිපත් කළ අංගුත්තර නිකාය ඡේදය පින්දීම සහ පින් අනුමෝදන් වීම පමණක් නොව ‘පින’ යන වචනය ද සඳහන් නොකරන බව ද මෙහිදී සැලකිය යුතු ය. පසුකාලීනව නිකාය වශයෙන් බෙදීමට මුල් වූ සමහර පිටක ග්‍රන්ථ පාඨ බුදුන් විසින් පරිනිබ්බාණ සූත්‍රයෙහි දක්වන ලද ප්‍රමිතිකරණ නිර්දේශයන් නොසලකා ක්‍රියා කළ ආකාරය මෙයින් පෙනේ. තුන්වන ධර්ම සංගායනාවේ දී ප්‍රතික්ෂේප කරන ලද කරුණක් නැවත ථෙරවාද ග්‍රන්ථ තුළට රිංගවීමෙන් තමන් කරන්නේ බරපතළ වරදක් බව ලාංකේය ථෙරවාදී භික්ෂූන් නොසැලකූ බව මෙයින් පැහැදිලි වේ.

4. ශාන්තිකර්මයක් වන ‘පිරිත’ බුදුන් විසින් අනුමත කරන ලද බව පෙන්වීම සඳහා ප්‍රබන්ධ කතාවක් යොදා ගැනීම

බුද්ධඝෝෂයන් විසින් සුත්ත නිපාත අට්ඨකතාවේ රතන සූත්‍රයට ලියන ලද අටුවාවේ දී බුදුන් දවස ලිච්ඡවීන්ගේ විශාලා මහනුවර ගිල ගත් ‍අමනුෂ්‍ය බිය හා වසංගත රෝග බියක් ගැන ද සඳහන් කරයි. බුදුන් එහි වැඩ ම කොට රතන සූත්‍රය ආනන්ද තෙරුන්ට උගන්වා ‍ නගරයේ වීථියක් වීථියක් පාසා එය සජ්ඣායනය කරමින්, පිරිත් පැන් ඉසිමින් යාමට සැලැස්වූ බවත්, එයින් අමනුෂ්‍ය බිය ද, වසංගත රෝග බිය ද පහව ගිය බවත් එහි දී වැඩිදුරටත් දැක්වේ.

මෙම විස්තරය සිත්ගන්නාසුලු ප්‍රබන්ධයක් ලෙස සාහිත්‍යයික වශයෙන් අගය කළ හැකි මුත් හුදු ප්‍රබන්ධයක්, ප්‍රලාපයක් පමණක් මිස අල්පමාත්‍ර වූ සත්‍යයකින් තොර ය. බුදුන් ජීවමාන ව සිටි කාලයේ වජ්ජ ජනපදය සශ්‍රිකත්වයෙන් අගතැන්පත් ව‍ූ රාජ්‍යයක් වූ බවත්, එය වැදගත් වෙළෙඳ මධ්‍යස්ථානයක් ව පැවැති බවත් තත්කාලීන සාමාජික වාර්තාවලින් සනාථ කෙරෙයි. බුදු හිමියන් ලිච්ඡවීන් තව්තිසා දෙවියන්ට සමාන කිරීමට තරම් ඉමහත් ප්‍රසාද මුඛයෙන් ඔවුන් ගැන කථා කළ අවස්ථා ද පිටක ග්‍රන්ථවල දැක්වේ. පිරිනිවන් පෑම සඳහා කුසිනාරා නුවරට යන ගමනේ දී බුදුන් වහන්සේ පාඨලී ග්‍රාමයට පැමිණි බව ඇසූ මගධාධිපති අජාසත් රජු තම අගමැති වස්සකාර බ්‍රාහ්මණයාව බුදුන් හමුවීමට යවන්නේ ඉතා වැදගත් ප්‍රශ්නයකට පිළිතුරක් ලබාගැනීම සඳහා බව මහාපරිනිබ්බාණ ස‍ූත්‍රයෙහි දැක්වේ. මගධ අධිරාජයා වජ්ජි ගෝත්‍රික පාලන ප්‍රදේශය යටත් කොට ගැනීම සඳහා යුද වැදීමට අදහස් කරන බව බුදුන්ට පවසන වස්සකාර එය සාර්ථකවේ දැයි ඇසූ විට සත්‍යවාදී බුදුන් එම ප්‍රශ්නයට දෙන උත්තරයට අනුව ඉදිරි කටයුතු සැලසුම් කර ගැනීම අජාසත් රජුගේ බලාපොරොත්තුව වේ. මෙම යුද්ධයට සූදානම් වීමක් වශයෙන් මේ වනවිට පාඨලී ග්‍රාමයට‍ අවශ්‍ය ආරක්ෂක විධිවිධාන යෙදීම ආරම්භ කරමින් සිටි බව ද මහාපරිනිබ්බාණ සූත්‍රයෙහි වැඩිදුරටත් දැක්වේ.

මෙවැනි යුද්ධයකින් අජාසත් රජුට ජය අත්වේ දැයි ඇසූ විට බුදුන් එයට පිළිතුරක් නොදී අනඳ හිමියන් විමසන්නේ තමන් වහන්සේ විසින් වජ්ජින්ට දේශනා කරන ලද සප්ත අපරිහානිය ධර්මයන්ට අනුව ඔවුන් කටයුතු කරන්නේ දැයි කියා ය. ‘එසේ’ යැයි පිළිතුරු ලැබුණ විට බුදුන් යළි පවසන්නේ එසේ නම් වජ්ජින්ට කිසිදු කරදරයක් සිදු කළ හැකි නොවන බව ය. මේ අනුව කළ යුතු දේ දැනගත් වස්සකාර වජ්ජින් අතර එකමුතු බව විනාශ කිරීම සඳහා මිත්‍රභේදය ඇති කොට වජ්ජි රාජ්‍යය යටත් කළ බව ඓතිහාසික වාර්තාවලින් සනාථ කෙ‍රේ. මෙය සිදුවූයේ බුද්ධ පරිනිර්වාණයෙන් කලකට පසුව ය.

බුද්ධඝෝෂයන් කියන ආකාරයට බුදුන් ජීවමානව වැඩ සිටි කාලය තුළ වජ්ජි ජනපදය එබඳු දුර්භික්ෂයකට ගොදුරු වූ බවට කිසිම සාධකයක් තත්කාලීන වාර්තාවලින් නොලැබෙයි.

බුදු හිමියන්ගේ පන්සාළිස් වසරක ධර්ම ප්‍රචාරක කාලය තුළ උන්වහන්සේ හෝ භික්ෂු සංඝයා හෝ ගිහි සමාජයේ පැවති පිරිත් සජ්ඣායන ශාන්ති කර්මයකට සහභාගි ව‍ූ බව දැක්වෙන අවස්ථා කිසිවක් සඳහන් නොවීම මේ සම්බන්ධ ව ලබාගත හැකි ප්‍රබල සාධකයකි.‍ බුදුහිමියන් සහ භික්ෂු සංඝයාගේ සහභාගිත්වයෙන් ගිහියන් සඳහා පැවැත්වූ එක ම ආගමික කටයුත්ත වශයෙන් දැක්වෙන්නේ තණ්හාව නැති කිරීමේ දානය ම බව පිටක ග්‍රන්ථවලින් ඉතා පැහැදිලි ව දක්වා තිබේ.

දීඝ නිකාය සාමඤ්ඤඵල සූත්‍රයෙන් සියලු ම වර්ගයේ ශාන්තිකර්මයන් තිරශ්චීන විද්‍යා වශයෙන් ප්‍රතික්ෂේප කළ බුදු හිමියන් විසින් පිරිත අනුමත කරන ලද බවක් රතන සූත්‍ර අටුවාව මගින් කීම බුද්ධ චරිතය බරපතළ ලෙස කෙළෙසී‍මක් බව සඳහන් කළ යුතු ය.

5. සීල, සමාධි, ප්‍රඥා විමුක්ති මාර්ගය වෙනුවට හෝ ඊට සමගාමීව පූජා සහ වන්දනා ක්‍රම පද්ධති මාර්ගය එකතු කිරීම

තථාගත බුදු හිමියන් විසින් දේශනා කරන ලද එකම විමුක්ති මාර්ගය වන්නේ නිර්වාණය නොහොත් නිර්වාණාවබෝධයකි. ඒ වූ කලී පිටස්තර දෙවියෙකුගේ හෝ වෙනත් එවැනි පුද්ගලයකුගේ හෝ බාහිර වස්තුවක හෝ පිහිටෙන් ලබා ගත නොහැකි සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂා මාර්ගයෙන් පුද්ගල පෞරුෂය තුළින් ම සාක්ෂාත් කර ගත හැක්කකි‍. බුද්ධඝෝෂයන් විසින් ලියන ලද ජාතක අටුවාවෙහි කාලිංගබෝධි ජාතකයට සපයන අටුවාව අතරමගදී මුල් ජාතක කථාවන්හි නොදැක්වෙන ආනන්ද බෝධියක් පිළිබඳ කථාවක් එකතු කිරීම මඟින් සිදුවී ඇත්තේ බුද්ධඝෝෂයන් ලංකාවට පැමිණි කාලය දක්වා ම නොපැවති ප‍ූජා සහ වන්දනා පද්ධතියක් බුදුදහමට එකතු කිරීමකි. බෙ‍ෟද්ධ පූජා සහ වන්දනා පද්ධතියෙහි මුල් පියවර සටහන් කරන්නේ ද මෙයයි.‍

ආනන්ද බෝධිය පිළිබඳ ප්‍රබන්ධ කථාව සැකසෙන්නේ බුදුන් ජේතවනයේ සිට චාරිකාවේ ගිය අවස්ථාවක බුදුන් දැකීම සඳහා ගන්ධමාලාදිය රැගෙන පැමිණි සැදැහැවතියන් ප්‍රස්තුත කොට ය. බුදුන් නොමැති බව දැන ඔවුන් එම ගන්ධමාලාදිය බුදුන් ගේ කුටියේ දොරකඩ තබා ගිය බව දන්වා ඔවුන්ට එම ගන්ධමාලාදිය ප‍ූජා කිරීමට පූජනීය ස්ථානයක් දිය හැකි දැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් බුදුන් විසින් ගයාවෙහි ශ්‍රී මහා බෝධියෙන් ගෙන්වා ගත් ඉදුණු ඵලයක් ජේතවනාරාමය ඉදිරිපිට රෝපණය කරන ලද බව කියැවේ. ආනන්ද බෝධිය නම් වන්නේ එයයි.

බෝධි වෘක්ෂය බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත්වීම බුද්ධ කාලයේ සිට ම පැවති බව ඒත්තු ගැන්වීමේ අරමුණින් බුද්ධ කාලයෙන් සියවස් ගණනාවකට පසු ව ව්‍යවහාරයට පැමිණි අභිවාර විධියක් බුද්ධඝෝෂයන් විසින් පෙරකාලීන කරනු ලැබ ඇති බව පෙනේ.‍ බුදු හිමියන් තම බුද්ධත්වය ගැන සඳහන් කළ කිසිම අවස්ථාවක බෝධි වෘක්ෂය ගැන සඳහන් කර නැත. දේවානම්පියතිස්ස රජු දවස මෙරටට ගෙන්වා ගත් ශ්‍රී මහා බෝධි ශාඛාව මහමෙවුනා උයනේ රෝපණය කිරීමෙන් පසුව, එය බෞද්ධයන් විසින් වන්දනා කරන ලද බවක් කිසි ම මූලාශ්‍රයක සඳහන් නොවන බව ද සැලකිය යුතු ය. මෙහිදී චෛත්‍යය, බෝධි වෘක්ෂය, බුද්ධ ප්‍රතිමා ආදී පූජනීය වස්තුවලට ගෞරව කිරීමත්, එම ප‍ූජනීය වස්තුවලට ප‍ූජා කිරීම හා වන්දනාමාන කිරීමත් අතර ඇති විශාල පරතරය එකට පටලවා ගත යුතු නොවේ.

පාලි පිටක ග්‍රන්ථ කිසිවක ‘පූජා’ යන වචනය යෙදී නැත. දානය සහ වෙනත් දීමනා ‘දීම’ වශයෙන් ම දක්වා ඇති බව මෙහිදී සිහි තබා ගත යුතු ය. පූජා යන වචනය මෙන් ම වන්දනා යන වචනය ද බුද්ධ කාලයෙන් සියවස් දෙකකටත් වැඩි කාලයක් ගතවීමෙන් පසු වූ සමාජ ව්‍යවහාරයට පැමිණි වචන බව ද සැලකිය යුතු වේ.

මෙම පූජා සහ වන්දනා ක්‍රම පද්ධතිය ස්ථාවර ව සමාජගත කිරීම සඳහා සැදැහැවතෙක් බුද්ධ ප්‍රතිමාවකට හෝ වෙනත් පූජනීය වස්තුවකට වන්දනා කරන සෑම වාරයක ම පින් උපදවන බව කියන පුණ්‍යක්‍රියාවන් දසපින් ක්‍රියාවන් වශයෙන් දක්වා ඇති බව අටුවාවේ දැක්වෙයි. තථාගත බුදුන් දාන, සීල, භාවනා වශයෙන් කළ ප්‍රකාශය දහයක් දක්වා වර්ධනය කිරීම ද ඒ අනුව බුදුන් විසින් දේශනා නොකරන ලද පුණ්‍ය ක්‍රියා ඊට එකතු කිරීම ද මුල් පිටක ග්‍රන්ථයේ අඩුවක් සම්පූර්ණ කිරීමක් වශයෙන් දැක්වීම අටුවාකරුවකුට පැවරෙන වගකීම ඉක්මවා යාමකි‍. මෙය මහාපරිනිබ්බාණ සූත්‍ර නිර්දේශයන් සම්පූර්ණයෙන් ම වෙනස් කිරීමක් බව ද කිව යුතු ය.

6. අට්ඨකථාවල දී දෙවිවරුන් සහ දිව්‍යලෝක පිළිබඳ බුදුන්ගේ අදහස් සම්පූර්ණයෙන් වෙනස්වීම

උසස් සහ පහත් ශ්‍රේණිවලට අයත් දෙවිවරු අභ්‍යවකාශයේ ඉහළ සහ පහළ පිහිටි දිව්‍ය‍ලෝකවල වාසය කරන බව දැක්වූ හින්දු සහ ජෛන ආගම්වල අදහස් බෞද්ධ පිටක ග්‍රන්ථවලට එකතු කිරීම කිසිම හිරිකිතයකින් තොරව කර ඇති බව මෙහිදී කිව යුතු ය. බුදුන් විසින් අවබෝධ කර ගත් අට ආකාර ව‍ූ දෙවියන් ඉක්මවා ගිය ඥාන දර්ශනයට අනුව දෙවිවරු සියලු දෙනා ම මෙම ලෝක ධාතුවෙහි ම සිටින්නාවූත් භෞතික ශරීර නැත්තාවූත් වෙති. ඔවුන් ‘දේව ශ්‍රේණි’ වශයෙන් මිස වෙනත් වෙනස් ලෝකවලට බෙදීයෑමෙන් හෝ ඉපදීමෙන් වෙනස් ව‍ූවෝ නොවෙති. ‘දේවේසුතාවතිංසේසු උප්පජ්ජි’, ‘චාතුම්මහා රාජිකානං දේවානංසහව්‍යතං උප්පජ්ජි’ ආදී යෙදුම් තාවතිංස දේවලෝකේ, උප්පජ්ජි චාතුම්මහා රාජික දේවලෝකේ, උප්පජ්ජි ආදී වශයෙන් අට්ඨකථාවට නඟා තිබීම දක්නට ලැබේ.

බුදුන් විසින් අනුදක්නා ලද දෙවිවරුන් පුදප‍ූජා භාර ගැනීමක් හෝ පින් ගැනීමක් සිදු නොකරන බව ඉතා පැහැදිලි ව දේශනා කර ඇති මුත් දෙවියන්ට පින් දීම සහ දෙවියන්ගෙන් පිහිට ඉල්ලීම ද අද වනවිට බෞද්ධ පිළිවෙත්වලට එකතු වී තිබේ. පුද පූජා සහ වන්දනා පද්ධතියට දෙවියන් ද එකතු කිරීම නිසා බුද්ධ‍ඝෝෂයන්ගේ අට්ඨකථා බුද්ධාගම මඟින් බෞද්ධයා පරිපූර්ණ යාචකයෙකු බවට පරිවර්තනය වී සිටියි. මේ නිසා වර්තමානය වනවිට ඔහු චෛත්‍යය, බෝධි වෘක්ෂය, බුද්ධ ප්‍රතිමා ආදී සෑම පූජනීය වස්තුවකට ම නියමිත පූජා වාක්‍යයෙන් පුද පූජා පැවැත්වීම සිදු කරන වන්දනා වාක්‍යවලින් ඉල්ලීම ද ඉදිරිපත් කරන යදියෙකු බවට පත්වී ගුණධර්ම මාර්ගයෙන් විමුක්තිය උදාකර ගැනීම පිළිබඳ බුදුන්ගේ දේශනයෙන් බොහෝ දුරට බැහැර වී සිටී.

සිළුමිණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment