අනුරපුර රෝහලේ නීතියක් නිසා ආරක්ෂක නිලධාරීන් උඩින් යනවලු

අනුරපුර රෝහලේ නීතියක් නිසා ආරක්ෂක නිලධාරීන් උඩින් යනවලු

රෝහල් පරිපාලනය ගෙන ඇති මෙම තීරණය සමග පෞද්ගලික ආරක්ෂක අංශය කලබලකාරී ලෙස කටයුතු කරන බව රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩලය පවසයි. රෝහල් පරිපාලනය ලබාදී ඇති නීති අභිබවමින් ආරක්ෂක අංශය කටයුතු සිදුකරන බව ඔවුන් සඳහන් කළ අතර ඊට දැඩිව විරෝධය පළ කරන බව ද සඳහන් කළේය.

මේ පිළිබඳව අදහස් දැක්වූ රෝගියෙකු මෙසේ පැවසුවේය.

රෝහල අධි ආරක්‍ෂිත කලාපයක් කරලා

"අනුරාධපුර ශික්ෂණ රෝහල අධි ආරක්ෂිත කලාපයක් බවට පත්වෙලා. යුද්ධය පැවති සමයේවත් මෙහෙම තිබ්බේ නෑ. මම වයෝවෘද්ධ මවට බෙහෙත් ටිකක් ගැනීමට ඇය සමග කුලී ත්‍රීරෝද රථයකින් පැමිණියා ඇයට ඇවිද ගැනීමට අපහසු නිසා ජයිකා ගොඩනැගිල්ලේ පිහිටි බාහිර රෝගී අංශයට යෑමට අවසර ඉල්ලු නමුත් ආරක්ෂක අංශය යන්න ඉඩ දුන්නේ නෑ. මම මගේ මවව බොහොම අමාරුවෙන් වඩාගෙන රෝහල ඇතුළට අරගෙන ගියා.

මේක රජයේ පොදු ආයතනයක් නමුත් අධි ආරක්ෂිත කලාපයක් බවට පත්කරලා. බෙහෙතක් ගන්න, බෙහෙතක් විදගන්න, තුවාලයක් හැදුණු රෝගියෙකු, කකුලක් කැඩිලා සායනයට එන රෝගියෙකුට, පපුවේ අමාරුව තියෙන රෝගියෙකුට අද ත්‍රීරෝද රථයකින් රෝහලට ඇතුල්වෙන්න බෑ. මේකද රෝගි සත්කාරය. ඇතුල්වෙන තැනින්ම අපට රෝහල එපා කරනවා"

මෙම ක්‍රියාවට ඇතැම් රෝහල් කාර්ය මණ්ඩල වෛද්‍යවරු හා වෛද්‍ය ශිෂ්‍යයන් විරෝධය පළ කළ අතර ඔවුන් මෙසේ සඳහන් කරයි.

අපිව තඹයකට මායිම් කරන්නේ නැහැ

"අපි හැමෝටම පෞද්ගලික වාහන නෑ. කුලී ත්‍රීරෝද රථවලින් රෝහලට ඇතුල් වෙන්න ආවම කියනවා රෝහල් අවසර පත්‍රය නැති කිසිම පෞද්ගලික වාහනයකට අධ්‍යක්ෂතුමා ඇතුල් වෙන්න දෙන්න එපා කියලා. නීති පනවලා තියෙන්නේ කියලා. අපි වෛද්‍යවරු, හෙදියෝ, ශිෂ්‍යයෝ කිව්වට මේ අය අපිව තඹයකට මායිම් කරන්නෑ.

මේක බරපතල තත්ත්වයක්. ඒ නිසා නීතිය යම් විදියකින් වෙනස් වෙන්න ඕන. ඇවිදගන්න බැරි උණ රෝගියෙකුට වාහනයකින් රෝහලට ඇතුල් වෙන්න අවස්ථාව තියෙන්න ඕන. රෝහල ඇතුලේ රථවාහන නවත්වන්න ඉඩ නැත්නම් ඒවාට විකල්ප උත්තර තියෙන්න ඕන. පොදු ජනතාවට පහසුකම් නැත්නම් සියලුම දෙනා රථවාහන වෙන කොහෙහරි නවත්තලා පයින් රෝහලට එන්න ඕන.

අනුරාධපුර ශික්ෂණ රෝහලට පිටස්තර රථවාහන ඇතුළු කිරීමට ඉඩ නොදීම හේතුව ආරක්ෂක හේතුවක් ද යන්න අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් වීරවර්ධන මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවසුවේය.

ආරක්ෂක අංශ නිලධාරින්ගේ කම්මැලිකම නිසා ප්‍රශ්නයක් මතුවෙලා

"ආරක්ෂක හේතුවක් නෙමෙයි රෝහලේ සිදුකරන නව ඉදිකිරීම් නිසා රෝහල් භූමියේ ඉඩ ඇහිරී තිබෙනවා. මම ආරක්ෂක අංශයට දන්වා තියෙනවා ජයිකා ගොඩනැගිල්ලට වෛද්‍ය සායනවලට පැමිණෙන අමාරු රෝගින්ට ඔවුන්ගේ වාහනවලින් ඇතුල්වීමට ඉඩ දෙන්න, නමුත් රෝහල තුළ රථවාහන නවත්වන්න දෙන්න එපා කියලා.

මේ ආරක්ෂක අංශ නිලධාරින්ගේ කම්මැලිකම නිසා ඒ කිසිවක් ක්‍රියාත්මක කරන්නෑ. වාහනවලට ඇතුල්වෙන්න තහනම් කියනවා. වෛද්‍යවරයෙකුට වුණත් පිටස්තර වාහනයකින් ඇතුළු වෙලා එය පිටත්කර අරින්න පුළුවන් යනුවෙන්"

බී.එම්. විජේසූරිය - අනුරාධපුර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment