විත අස පත - චූල සිරුරක මහා හදවත !

විත අස පත - චූල සිරුරක මහා හදවත !

"බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩියෙ නැහැ ඕයි!"

ඒක අතුරු කතාවක්. ප්‍රධාන කතාව මෙහෙමයි. ලංකාවෙ සාහිත්‍ය කලාව ඇතුළෙ මහාවංශ - චූලවංශ ගැටුමත් චූලෝදර - මහෝදර සටනට දෙවැනි නැහැ. මීට ටික කාලෙකට කලින් අපේ හිතවත් කවියෙක් එච්. ආර්. ජෝතිපාල ගැන ලිපියක් ලිව්වා. ඔහු ඒකෙ සඳහන් කළා රත්න ශ්‍රී විජේසිංහත් මදු විතකින් සප්පායම් වුණාට පස්සෙ ජෝතිගෙ ගීත මුමුණන්න ප්‍රිය කරන බව. මේ ලිපිය කියවපු පුද්ගලයෙක් අපේ හිතවත් කවියාට දැක්වුවෙ මෙන්න මෙහෙම ප්‍රතිචාරයක්. 

"අයියෝ! ඇයි එහෙම එකක් ලිව්වෙ? එහෙම කිව්වම ඒක රත්න ශ්‍රීට හොඳ නැහැනේ!"

ඒ කියන්නෙ ඔහුට අනුව රත්න ශ්‍රී බිව්වත් නැතත් අනිවාර්යයෙන් ම කියන්න ඕනෙ අමරදේවගෙ, වික්ටර් රත්නායකගෙ නැත්නම් සුනිල් එදිරිසිංහගෙ සින්දු විතරයි. අනේ මන්ද ඉතින්! ඇත්තටම සෙනරත් පරණවිතාන කිව්ව විදියට බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩියෙ නැතුව ඇති. හැමදාම උදේ හවස අතොරක් නැතුව මහාවංශෙ ම කබල් ගාන රටකට චූලවංශෙන් ලැබෙන ප්‍රයෝජනේ මොකක්ද?

ඒක එහෙම වුණත් මේ සතියෙ 'විත අස පත' තීරුව වෙන් වෙන්නෙ අන්න එහෙම චූල සංස්කෘතියෙ මිනිහෙක් වෙනුවෙන්. නම ප්‍රින්ස් උදය ප්‍රියන්ත!

සමහරු ඉන්නවා ඉපදෙනකොට ම විරාගය, වානේ පන්නරය ලැබූ හැටි එහෙමත් නැත්නම් ගුරු ගීතය අතේ අරගෙන ඉපදුන කට්ටිය. අපි එහෙම නැහැ. අපි මුලින් ම කියෙව්වෙ ඩීමන් ආනන්දගෙ පොත්. ඊට පස්සෙ කරුණාසේන ජයලත්ගෙ පොත්. ෂර්ලොක් හෝම්ස් පොතුත් කියෙව්වා. එහෙම පටන් අරන් තමයි මාර්ටින් වික්‍රමසිංහ ළඟට ගියේ. ඊටත් පස්සෙ තමයි රුසියන් සාහිත්‍යයේ ඉඳන් පාවුලෝ කොයියෝ දක්වා කියවන්න පෙළඹුණේ. හැබැයි කියවන්න මුල්ම උත්තේජනය ලැබුණෙ අතැනින්. මට හිතෙන්නේ සාහිත්‍යට සම්බන්ධ ඒ කාරණේ ලංකාවෙ ගීතයට අදාළ කර ගත්තොත් ප්‍රින්ස් ඇතුළු ඒ පරපුරේ කීප දෙනෙකුට ම අපේ ආචාරය හිමි වෙන්න ඕනේ. ප්‍රින්ස්ලා නිසා සින්දු අහන්න කන් සකස් කර ගත්ත පරම්පරාවක් බිහි නොවුණා කියන්න පුළුවන් කාටද?

ප්‍රින්ස් සම්බන්ධ හරි අපූරු කතාවක් තියෙනවා. ඒක ඔහු ක්ෂේත්‍රයට ආපු මුල්ම කාලෙ වුණ සිදුවීමක්. ෆ්‍රෙඩී සිල්වා කියන්නේ ඒ වෙනකොටත් ක්ෂේත්‍රය ඇතුළෙ සෑහෙන්න තරම් ප්‍රවීණයෙක්. චිත්‍රපට ලෝකෙ විතරක් නොවෙයි හැබෑ ලෝකෙත් එක එක්කෙනාට ලණු දෙන්න ෆ්‍රෙඩී හරි ප්‍රසිද්ධයි. දවසක් කොහේ හරි තිබුණ සංගීත ප්‍රසංගයකට ප්‍රින්සුත් ෆ්‍රෙඩීත් වෙන වෙනම සහභාගී වෙලා තියෙනවා. ප්‍රින්ගෙ සම්පූර්ණ නම ප්‍රින්ස් උදය ප්‍රියන්ත කියල දැනගත්ත ෆ්‍රෙඩී, ප්‍රින්ස් සින්දු කියල ඉවර වෙලා වේදිකාවන් බහිද්දී හෙමින් සැරේ ඔහු ලඟට කිට්ටු වෙලා මෙහෙම අහනවා.

"මල්ලී! හෙට මොකක් හරි වැඩක් දාගෙනද ඉන්නෙ?"

"නැහැ අයියේ! " ප්‍රින්ස් බොහොම උනන්දුවෙන් උත්තර දෙන්නෙ ෆ්‍රෙඩී තමන්ව මොකක් හරි වැදගත් වැඩකට සම්බන්ධ කරගන්න හදනවා කියල හිතාගෙන.

"එහෙම නම් හෙට උදෙන්ම පලයන් මහරගමට."

"ඔව් අයියේ! "

"එහේ ඇති අබේවර්ධන බාලසූරිය කියල හාදයෙක්. "

"ඔව් අයියේ!"

"මිනිහට නමක් වෙනුවට තියෙන්නේ වාසගම් ම දෙකක්. උඹේ ඔය නම් තුනෙන් එකක් මිනිහට දීල උගෙන් එක වාසගමක් උඹ ඉල්ල ගනින්!"

ෆ්‍රෙඩීගෙ කතාවට ප්‍රින්ස් කොහොම උත්තර දුන්නද දන්නෙ නැහැ. කිසිම සැකයක් නැහැ, ඔහු බොහොම අහිංසක විදියට හිනාවෙන්න ඇති. අන්න ඒ ප්‍රින්ස් උදය ප්‍රියන්ත මීට ටික කාලෙකට කලින් තමන්ගෙ සදාකාලික ස්වරය නිහඬ කළා. ජීවිතය ඔහුට උරුම කරල දුන්නෙ සුව පහසු නික්ම යෑමක් නොවෙයි. නොසෑහෙන්න දුක් විඳින්න සිද්ධ වුණා. ඒ චූල ශරීරය ඇතුළෙ තිබුණ මහා හදවත ගැන තීරුවක් පිරෙන්න ලියල අපි හිත හදාගන්නෙ කොහොමද?

ඒවා කවදාවත්, කවුරුවත් අතින් ශෝක ප්‍රකාශ හෝ පණිවිඩ නිකුත් වෙන්නෙ නැති මරණ! හොඳයි, කමක් නැහැ! මරණයට වගේම ජීවිතයටත් 'බරක්' තියෙන 'හෙටක්' ගැන සුබවාදී බලාපොරොත්තු තවමත් අපේ හිත්වල ඉතුරු වෙලා තියෙනවා. ඒ බලාපොරොත්තු අත මිට මොලොව ගෙනම අපි ප්‍රින්ස්ට මෙන්න මෙහෙම කියනවා.

"ස්තූතියි මිත්‍රයා! අපිට දුන්නු හැම දෙයක් ම වෙනුවෙන්..."

- කසුන් සමරතුංග -

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment