විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජේගේ අන්තර්ජාල සැපයුම ඉක්වදෝර රජය විසින් අවහිර කර තිබේ. ලන්ඩනයේ පිහිටා තිබෙන ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරණය ලබමින් සිටින ජුලියන් අසාන්ජේ, අන්තර්ජාලය ඔස්සේ ඉක්වදෝරයේ අන්තර්ජාතික සබඳතා අනතුරරේ හෙළා ඇති බව මෙම මේ පියවර සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඉක්වදෝරය පවසයි.
මේ අනුව ජුලියන් අසාන්ජේ මේ වන විට නියත වශයෙන්ම බාහිර ලෝකයෙන් හුදෙකලා වී ඇත. ඔහු පුරා වසර 6ක්ම ජීවත් වූයේ මෙම තානාපති කාර්යාලයේ සුපිරි සිරකරුවෙකු සේ ය.
මෙම බරපතළ පියවර සම්බන්ධයෙන් ඉක්වදෝර රජය මේ වන විට ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඔවුන් පවසන අන්දමට 2017 වසරේ අගභාගයේදී අසාන්ජේ ඉක්වදෝර රජය සමග ලිඛිත ගිවිසුමකට එළඹ තිබේ. ඒ, වෙනත් රාජ්‍යයන් සමග ඉක්වදෝරය පවත්වන සම්බන්ධතාවලට බාධා වන ආකාරයේ කිසිදු පණිවුඩයක් තානාපති කාර්යාලය තුළ සිටියදී නිකුත් නොකරන බවට ය. එම ලිඛිත එකඟතාවය අසාන්ජේ විසින් දිගින් දිගටම කඩ කළ නිසා මේ පියවර ගත් බව ඉක්වදෝර රජය පවසයි.
“අසාන්ජේ විසින් පසුගිය දිනවල සමාජ ජාල ඔස්සේ පළ කළ හැසිරීම නිසා ඉක්වදෝරය එක්සත් රාජධානිය, යුරෝපා සංගමයේ රටවල් සහ සෙසු ජාතීන් සමග පවත්වාගෙන ගිය යහපත් සබඳතාවලට බාධා සිදුවූ බව’ ද එම ප්‍රකාශයේ සඳහන් ය.
“කාලකණ්නි කුඩා පණුවා”
මේ අර්බුදයට ආසන්නතම සිදුවීම වශයෙන් හඳුනා ගැනෙන්නේ අසාන්ජේ විසින් මේ සතියේ සඳුදා දිනයේ නිකුත් කළ ට්විටර් පණිවුඩයකි. එමගින් මේ මස මුලදී සැලිස්බරි නගරයේදී රුසියානු ඔත්තුකරුවා වන සෙර්ගෙයි ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණියට එල්ල වූ නර්ව් ඒජන්ට් රසායනික ප්‍රහාරයට රුසියාව වගකිව යුතු යැයි එක්සත් රාජධානිය සිදුකරන චෝදනාව ඔහු අභියෝගයට ලක් කරයි. එහිදී එක්සත් රාජධානිය විසින් එම තීරණයට එළඹි ආකාරය අසාන්ජේ විසින් ප්‍රශ්න කර සිටියි.
එක්සත් රාජධානිය තුළම පිහිටා තිබෙන වෙනත් රටකට අයත් තානාපති කාර්යාලයක ජීවත් වෙමින් එක්සත් රාජධානිය විවේචනය කිරීමේ වරදක් නම්, මුලින්ම ඒ සම්බන්ධයෙන් කෝප විය යුත්තේ එක්සත් රාජධානියයි.
සැබවින්ම එක්සත් රාජධානිය, අසාන්ජේගේ මෙම ක්‍රියාව දැඩි සේ විවේචනය කර තිබිණි. මෙයට දෙදිනකට පෙර (27) පැවැති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු විවාදයේදී බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ඇමති ඇලන් ඩන්කන් අසාන්ජේ ව හැඳින්වූයේ “කාලකණ්නි කුඩා පණුවා” (“miserable little worm”) යනුවෙනි. අසාන්ජේ එම්බසියෙන් පිටතට පැමිණ බ්‍රිතාන්‍ය යුක්තියට යටත් විය යුතු යැයි ද ඔහු එහිදී තර්ක කළේය.
එන පොට හොඳ නැති බව වටහාගත් ඉක්වදෝර රජය වහාම ඔහුගේ අන්තර්ජාල පහසුකම කපා දැමුවේ ඉන්පසුව ය.
ජුලියන් අසාන්ජේ මේ තානාපති කාර්යාලයේ ජීවත් වන්නේ 2012 ජූනි මාසයේ පටන් ය. ලිංගික අඩන්තේට්ටම් චෝදනාවලට ලක්වූ ඔහු, ස්වීඩනයට තමන්ව පිටුවහල් කිරීම වළක්වා ගන්නට මෙසේ තානාපති කාර්යාලයේ රැකවරණය පැතුවේය. ස්වීඩනය මේ වන විට කාන්තාවන් දෙදෙනෙක් විසින් ඉදිරිපත් කරනු ලැබූ එම චෝදනා ඇතුළත් නඩුව ඉවත් කරගෙන තිබේ. නමුත් අසාන්ජේ තවදුරටත් තානාපති කාර්යාලයේම ජීවත් වීම තෝරාගත්තේය. ඒ, යම් හෙයකින් ඔහු තානාපති කාර්යාලයෙන් පිටතට පැමිණියහොත් එක්සත් රාජධානිය විසින්ම ඔහුව අත්අඩංගුවට ගත හැකි නිසා ය. විකිලීක්ස් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා එංගලන්තය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇමරිකාවට පිටුවහල් කරනු ඇතැයි ඔහු බියෙන් පසුවෙයි.
මෙම තානාපති කාර්යාලය තුළ ඔහුගේ තනි නොතනියට සිටින්නේ බළලෙකු පමණි. විටින් විට ප්‍රකට පුද්ගලයන් කිහිප දෙනෙක් තානාපති කාර්යාලය වෙත ගොස් සුව දුක් බැලීම සිදු කරයි.
ඉක්වදෝර තානාපති කාර්යාලය අසාන්ජේගේ අන්තර්ජාල සැපයුම මීට පෙර ද කපා හැර තිබේ. ඒ 2016 ඔක්තෝබර් මාසයේදී ය. එවර ඉක්වදෝර බලධාරීන් බියට පත්වී තිබුණේ විකිලීක්ස් සබඳතා හරහා ඔහු ඇමරිකානු ජනාධිපතිවරණයට මැදිහත් වේ යැයි සැකය නිසා ය. විකිලීක්ස් විසින් ඇමරිකාවේ ප්‍රජාතාන්ත්‍රික ජාතික කමිටුවේ සහ හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ ප්රචාරක උපදේශක ජෝන් පොඩෙස්ටාගේ ඊමේල් හැක් කර ඒවා මුදා හැර තිබීම එයට හේතු විය.
2017 මැයි මාසයේදී ඉක්වදෝර ජනපති ලෙනින් මොරිනෝ පුද්ගලිකවම අසාන්ජේගෙන් ඉල්ලීමක් සිදුකර තිබුණේය. ඒ, ස්පාඤ්ඤ කැටලෝනියාවේ මතභේදය පිළිබඳ අදහස් දැක්වීමෙන් වැළකී සිටින ලෙස ය. අසාන්ජේ විසින් ඒ වන විට ට්වීට් කර තිබුණේ කැටලෝනියාවේ ‘මර්දනය’ සම්බන්ධයෙන් මැඩ්රිඩ් පාලනය වගකිව යුතු බව කියමිනි.
පිහිය රත්තරන් කියා එයින් ඇන ගත යුතුද?
ජුලියන් අසාන්ජේ යනු ලෝක දේශපාලනය කණපිට හැරවීමට සමත් සුපිරි හැකර් කෙනෙකි. ඔහු කොතරම් භයානක පුද්ලයෙක්ද යන්න, ඔහුගේ පුද්ගලික දේශපාලන නැමියාවන් මත රඳා පවතියි. එනිසාම අසාන්ජේ වැනි චරිතවලට ‘හිතේ හැටියට නටන්නට ඉඩ නොදිය යුතු බව’ට ලෝක දේශපාලනය තුළ දැඩි මතයක් තිබේ. කෙසේ නමුත් අනෙක් අතට එයින් පුද්ගලයෙක් වශයෙන් අසාන්ජේගේ අයිතිවාසිකම් කප්පාදු කිරීම සාධාරණ ද යනුවෙන් ද ප්‍රතිතර්කයක් ගොඩ නැගේ. අසාන්ජේ ‘විෂ්ල් බ්ලෝවර්’ කෙනෙක් හෙවත් ‘රහසිගත තොරතුරු හෙළිකරන්නෙක්’ වශයෙන් අත්කරගෙන තිබූ කීර්තිය ද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. නමුත් පිහිය රත්තරන් කියා එයින් ඇන ගත යුතුද? එක්සත් රාජධානිය මෙන්ම ඉක්වදෝරය ද මේ මොහොතේ අසමින් සිටින සැබෑ ප්රශ්නය වන්නේ එයයි.
- අමාලි ජයවීර | outboundtoday.com
0 comments :
Post a Comment