ආර්තව දුගී බව සහ නෙළුම් යාය - සමාජ විද්‍යාඥයෙකුගේ ඇසින්

ආර්තව දුගී බව සහ නෙළුම් යාය - සමාජ විද්‍යාඥයෙකුගේ ඇසින්

සමාජයක් තනන, පරම්පරාවක් බිහිකරන උත්තරීතර ගැහැණුන් විසින් මුහුණ දෙන අතිශය සංවේදී දිළිඳුකමක එක් පැතිකඩක් ලෙස ආර්තව දරිද්‍රතාවය යන්න සමාජ විද්‍යාඥයින් විසින් හඳුනාගෙන ඇති බව පසුගිය ලිපියේදී අපි සාකච්ඡා කළෙමු. එමෙන්ම ආර්තව දරිද්‍රතාවයට පිළියම් යෙදීමේ කඩිනම් අවශ්‍යතාවක් දැන් දැන් සමාජයෙන්ම මතුවෙමින් පවතින බවද ආර්තව දරිද්‍රතාවය හඳුනාගනිමින්, ඒවාට ප්‍රායෝගික විසඳුම් සොයමින් උඩුගම් බලා පිහිණිමට සිදුවී තිබෙන බවද අපි හඳුනාගතිමු. මෙම ප්‍රායෝගික විසඳුම් සෙවිම එක් අතකින් පුරුෂ මූලික සමාජ අගතීන්ද, අනෙක් අතින් වාණිජමය වශයෙන් සිදුවෙන සූරාකෑමෙන්ද කාන්තාවන් මුදාගැනීමේ අරගලය හා සම්බන්ධ වේ.

මීට පෙර නොවූ විරූ දෙයක්, කිසිදු පර්යේෂණයක් හෝ විද්වත් සාකච්ඡාවක් හෝ සිදු නොවුණු මාතෘකාවක්, මීට පෙර හමුවී හෝ දැක හෝ නොමැති කාන්තාවක් පිරිසක් සමග අලුත් වැඩක් කිරීමේ ආශාවක්, ආර්තව දරිද්‍රතාවය පිළිබඳ සමාජ අවබෝධය ඇතිකිරීමේ කාර්යයයේ සමාරම්භක පියවර වෙනුවෙන් තෝරාගෙන තිබුණු අතිශයින්ම ගැළපෙන ප්‍රදේශයක් මේ සම්බන්ධ මාගේ කුතුහලය තව තවත් තීව්‍ර කරන්නට සමත්විය. ඒ රජුන් තැනූ රජරට පොළොන්නරුවයි. වෙනත් අදහසකින් කියනවා නම් විද්‍යාව, තාක්ෂණය, වාරි තාක්ෂණය, සංස්කෘතිය, කලාව, පුරාණ සාහිත්‍යය යන සියල්ල සම්බන්ධව අද්වීතිය ඉතිහාසයක් සතු පුළතිසි පුරවරයයි. වැව් බැඳි රාජ්‍යය ලෙසද, රටට බත සපයන ප්‍රදේශයක් ලෙසද ප්‍රකට පොළොන්නරුව වර්තමානයේදී වඩාත් ප්‍රකටව ඇත්තේ වකුගඩු රෝගවලට වැඩි අවදානමක් ඇති ප්‍රදේශයක් ලෙසය. එදිනෙදා ජීවිකාව කෘෂිකර්මාන්තය ඇසුරින් සකසා ගන්නා ගොවීන් පදිංචිව සිටින, නැවත පදිංචිකරන ලද ගොවි ජනතාව ජීවත්වන මහවැලි බී කලාපය පසුබිමි කරගෙන ආර්තව දරිද්‍රතාවය පිළිබඳ සංවේදීභාවයක් ඇති කළ හැකිද යන්න සම්බන්ධයෙන් මා හට මෙම දේශනයට ආරාධනා කිරීමේදීම ප්‍රශ්නයක් නැඟුණි.

නෙළුම් යාය පදනම මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ආකර්ශනීය තේමාවක් නිර්මාණය කර තිබුණි. ඒ “මිහිමව සුරකින හරිත දියණියෝ” යන්නයි. මිහිමව සුරකින හරිත දියණියෝ යන නම ඇසුණු සැනින් මා හට මතක් වූයේ ඉන්දියාවේ සිටින ප්‍රකට ස්ත්‍රීවාදී සමාජ ක්‍රියාකාරිනියක වූ වන්දනා සිවා මහත්මියයි. ඇය හිමාල ප්‍රදේශයේ සිදුවූ මහා වන විනාශයට එරෙහිව කාන්තාවන් සමග අරගල කළාය. ආදායම් උත්පාදනය කිරීමේ මාර්ගයක් ලෙස හිමාල ප්‍රදේශයේ ගස් කැපීමට සූදානම් වන අවස්ථාවේදී වන්දනා තවත් කාන්තාවන් පිරිසක් සමග එක්ව ගස් බදාගනිමින්, ගස් කැපීමට පෙර ඔවුන්ව කපා දැමිය යුතු යැයි අරගල කළාය. ඉන්දියාවේ ප්‍රධාන දිස්ත්‍රික්ක තුනක් හරහා ගලා බසින නර්මදා නදිය අවහිර කරමින් වේල්ලක් බැඳ සිදුකිරීමට ගිය බලාගාර ව්‍යාපෘතිය මගින් සිදුවිය හැකි පාරිසරික අනතුරු පිළිබඳ වසර ගණනාවක් ඇය කාන්තාවන් සමග එක්ව උද්ඝෝෂණය කළාය. ඇයගේ තර්කය වූයේ ඉතිහාසයේ සිටම කාන්තාව හා පරිසරය අතර අත්‍යන්ත සම්බන්ධතාවක් පවතින බවයි. පුරුෂාධිපත්‍යය මගින් පීඩාවට පත්වන කාන්තාවගේ සැනසීම සෑම විටම පරිසරය හා සම්බන්ධ වූ බවයි.

නෙළුම් යාය පදනමේ ආරාධනයට අනුව මිහිමව සුරකින හරිත දියණියන් විශාල පිරිසක් පොළොන්නරු නගරයේ එක් ස්ථානයකට පැමිණ සිටිනු දුටුවිට මා හට වන්දනා ලා බොහෝ ප්‍රමාණයක් එම මුහුණුවල පෙනුණි. කාන්තාවන් හතළිස් දෙනෙකු වෙනුවට දියණිවරුන් ඇතුළු කාන්තාවන් හැට එක් දෙනෙකුම පැමිණ තිබුණි. දේශන ශාලාවේ මේසය උඩ ගොඩගසා තිබුණු දෙයක් දෙස හොර හොරැහින් බලමින් ඔවුන් දේශන ශාලාවේ අසුන්ගෙන සිටියේ මාගේ දේශනය ඇසීමටය.

කාන්තාව යනු ඉතිහාසය ආරම්භයේ සිටම පුරුෂාධිපත්‍ය මගින් බල රහිත කළ පිරිසක්ය යනුවෙන් මා කළ අදහස ඔවුන් එකහෙළා අනුමත කරනු පෙනුණි. උද්‍යෝගිමත් මුහුණුවල තමන් පිළිබඳ කතා කරන පිරිමි දේශකවරයා පිළිබඳ කුතුහලයත්, කිළි, සමාජ තහංචි, සමාජ හා සංස්කෘතික වාරණ පිළිබඳ තම අත්දැකීම් සහිතව ඇතිවන වේදනාවන් යනාදියේ පිළිබිඹුවත් මනාව පෙනෙන්නට තිබුණි. ගැහැණියක වීම නිසා ස්වභාව ධර්මයෙන් අනිවාර්ය කරන ලද මාසික ඔසප්වීම යනු ගැහැණියගේ ශරීරයෙන් ජරාව පිටවීම යැයි ඔවුන් අසා තිබෙන බව විශ්වාස කරන බව ඔවුහු අප සමග පැවසූහ. ගැහැණියක මාසිකව ඔසප් වීම යනු නොමේරු ඩිම්බ ශරීරයෙන් පිටවීම බවත් ඒවා මේරුවා නම් දරුවෙකු ලෙස භාරගන්නා සමාජයම ඒවා ශරීරයෙන් බැහැර වන විට මළ ජරාව යැයි අපහාස කරන්නේ මනුෂ්‍ය සංහතියටම නේදැයි ඇසුවිට ඔවුහු කම්පාවට පත්වූහ. ගැහැණියක මල්වරවීම පිරිමින්ට අනුව ජම්බුගසෙන් පැනීම යැයි පැවසූ විට සිනාසණු ඔවුහු පිරිමින් එලෙස පැවසීමට හේතුව කුමක්දැයි නොදත්තෝය. ලංකාවේ ළමා මව්වරුන් වැඩිපුරම සිටින්නේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ යැයි පැවසූ විට මුහුණට වේදනාබර හැඟීමක් එකතු කරගත් ඔවුන් තමා ඇතුළු ගැහැණු පරපුර දූෂණය වන්නේ, විනාශ වන්නේ තමන්ට හෝ තම පවුලට සමීපතම පිරිමි අතින් යැයි නොසඟවා පැවසූහ. අවසානයේදී මාසික ඔසප්වීම යනු මළ ජරාව පිටවීමක් හෝ, ලැජ්ජා විය යුතු හෝ සැඟවිය යුතු යමක් නොවන බව ඔවුහු පිළිගත්හ.

නීතිඥ රදිකා ගුණරත්න මිහිකත සුරකින හරිත දියණියෝ ව්‍යාපෘති කළමනාකාරතුමිය වශයෙන් දෙවන දේශනය සිදුකරන ලද්දේ කාන්තාවන් මාසිකව ඔසප්වීමත්, පිටවන නොමේරූ ඩිම්බ ඇතුළත් රුධිරය උරාගැනීම සඳහා භාවිතා කරනු ලබන සනීපාරාක්ෂක තුවා හා ඒවා මගින් පුද්ගලයාට හා පරිසරයට ඇතිකරවන හානිය පිළිබඳවය. සනීපාරක්ෂක තුවා ජීවිතේට පරිහරණය කර නොමැති ගැහැණුන් විශාල ප්‍රමාණයක් මැද රදිකා හා මා හුදෙකලා වී තිබුණි. සැමියාගේ පරණ සරමක් හෝ, ඉරී ගිය ඇඳ ඇතිරිල්ලක් හෝ, පරණ තුවායක කොටසක් හෝ සනීපාරක්ෂක තුවායක් ලෙස භාවිත කරන කාන්තාවන් වාණිජ සනීපාරක්ෂක තුවාය ගැන අසා තිබුණද, මිලදී ගැනීමේ නොහැකියාව මගින් ඇයව පස්සට ඇද දමා තිබුණි. තමන් පරණ රෙදි කැබලි භාවිතා කරමින්, එහෙත් දියණියට කෙසේ හෝ වාණිජමය සනීපාරක්ෂක තුවා පැකැට්ටුවක් මිලදීගෙන දීමට උත්සාහ කරන මව්වරුන්ද සිටියහ. ජීවන අරගලය සමග දෛනිකව පොරබදින, බඩට බත් ටිකක් සමග හොද්දක් සොයන වැලිකන්ද, දිඹුලාගල ප්‍රදේශවල ගැහැණුන්ගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ සනීපාරක්ෂක තුවා තිබුණේ නැත. ආහාර, වාසස්ථාන, ඇඳුම් පැළඳුම් මූලික අවශ්‍යතා බවට පත් කරගත්, කුඹුර, හේන අලියාගෙන් බේරාගැනීමට අර අදින මව්වරුන්ට තම දියණිවරුන්ගේ සනීපාරක්ෂාව අමතකව තිබුණි. මතක් වුවද කරන්නට දෙයක් තිබුණේ නැත. රදිකා විසින් කාන්තාවක් වාණිජමය සනීපාරක්ෂක තුවා පරිහරණය කිරීමෙන් පරිසරයට ඇති කරවන හානිය පිළිබඳ පවසද්දී හීල්ලූ ඔවුන් තමන් විසින් එම පාප කර්මයට සම්මාදන් නොවීම පිළිබඳ දෙවියන්ට පින් දෙන්නට ඇත. එහෙත් පරණ රෙදි කැබලි, කිළිටි රෙදි කැබලි සනීපාරක්ෂාව වෙනුවෙන් පරිහරණය කිරීමෙන් ඇතිවිය හැකි සංකූලතා හෝ විෂබීජ ආසාදනය පිළිබඳ ඇසූ විට නැවත ඔවුන්ට දෙවියන් සිහිවන්නට ඇත. මාසික ඔසප් දිනවලදී පාසල් නොයන දැරිවියන්, තමාගේ ඔසප්වීම පියාගෙන් හා සහෝදරයින්ගෙන් වසන් කිරීමට දරන විවිධ උත්සාහයන් ප්‍රකාශ කරත්දී පුරුෂාධිපත්‍යය කොතරම් නම් ගැඹුරට සමාජයට කා වැදී ඇත්දැයි අවබෝධ කරගැනීමට අපට හැකිවිය.

වාණිජ්‍යමය සනීපාරක්ෂක තුවායක් දිරාපත්වීමට වසර හාරසීයක් පමණ ගතවන බවද, කාන්තාවක් විසින් තම ජීවිත කාලය පුරා වසර තිහක පමණ කාලයක් තිස්සේ සනීපාරක්ෂක තුවා පන්දහසකට අධික ප්‍රමාණයක් පරිසරයට මුදා හරිමින් පරිසර විනාශයේ සෘජු හේතුකාරකවරියන් බවට පත්වන බවද උගෙන ගත් ඔවුන් තම ආත්මය පිළිබඳව කම්පා වන්නට ඇත. අතට වෙරළු ඇහිඳගෙන එන අම්මාවරු, ඉණට පළා නෙළාගෙන එන අම්මාවරු, බරටම දර කඩාගෙන එන අම්මාවරු බවට පත්වෙන ගැහැණුන් පරිසර විනාශයට දායක වන ආකාරය ගැන සැබවින්ම ඔවුහු කම්පා වූහ. නෙළුම් යාය පදනම විසින් හඳුන්වා දුන් නැවත නැවත සෝදා පරිහරණය කළ හැකි සනීපාරක්ෂක තුවා ඔවුන්ගේ අතට පත්කරන තුරු නොඉවසිල්ලෙන් බලා සිටි පොළොන්නරු හරිත දියණියෝ අවසානයේ මිහිමව ජයගැනීමට නම් කාන්තාව විසින් පරිසරය රැකගැනීමට පෙරමුණ ගත යුතු යැයි අදහස් ප්‍රකාශ කළහ.

මෙම පර්යේෂණාත්මක නියමු ව්‍යාපෘතිය විසින් සමාජ විද්‍යාඥයෙකු වශයෙන් මා හට ඇති කරවන ලද බරපතළම උත්කර්ෂය වන්නේ වෙනදාට වාණිජ්‍යමය සනීපාරක්ෂක තුවාය බෑග්වල සඟවාගෙන, පොත් අස්සේ දමාගෙන යන ගැහැණු දරුවන් මෙදා නෙළුම් යාය පදනම මගින් යෝජනා කළ විකල්පය ඇඟිලි කොනක රඳවාගෙන පුලතිසිපුර බස් නැවතුම බලා ගමන් කරනු දැකීමය.

| තුෂාර මනෝජ්

| ඡායාරූප : අජිත් සෙනෙවිරත්න

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment