අප පළකරන පුවතකින් යම් පාර්ශ්වයකට අගතියක් වේයැයි හැඟේ නම් ඕනෑම අවස්ථාවක එම පුවත නිවැරදි කිරීමේ හෝ පැහැදිලි කිරීමක් සිදුකිරීමේ අවස්ථාව ඇති අතර මාධ්‍ය ආචාර ධර්මවලට අනුව එම නිවැරදි කිරීමට හෝ පැහැදිලි කිරීමට අප වෙබ් අඩවියේ සමාන අවස්ථාවක් ලබාදීමට අප හැමවිටම සූදානම්ය.
ඒ අනුව රංගජීව පොලිස් පරීක්ෂකවරයා අප වෙත එපා තිබෙන පැහැදිලි කිරීම කිසිදු සංශෝධනයකින් තොරව පහතින් පළ කරමු.
මහත්මයා නෙණි.
මා පිලිබඳ ඔබ විසින් පල කරන තොරතුරු හා සම්බන්ධව.
වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේ දී සිරකරුවන් මිය යැම සම්බන්ධව දීර්ඝ සහ විස්තරාත්මක ,විද්‍යාත්මක කරනු
සමගද ප්‍රකාශ අ.ප දේ නිලධාරීන් ට ලබා දී ඇත ,එහි සංසිප්ත කරුනු ඉහළ උසාවි යේ ගොනුවේ ඇත .කරුණාකර එම කරුනු අද්‍ය්යනය කර සත්‍ය තොරතුරු ඔබේ news web හි මින්පසු සදහන් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.ඔප්පු කල නොහැකිය ඔපාදුප සම්බන්ධයෙන් වගකිම ඔබ සතුය .වැරදි කරුවෙක් වෙනතුරු ඔහු නිවැරැදි කරුවෙක් බව හා සියලුම අයිතිවාසිකම් මට තියෙන බව අමතක නොකොට කටයුතු කිරිම අගය කොට සලකමි.
සංස්කාරක සටහන
පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා වැලිකඩ රැඳවියන් ඝාතනය සම්බන්ධයෙන් කිසිදු අධිකරණයකින් වැරදිකරුවෙකු වී නොමැති අතර ඔහු ඒ සඳහා වැරදිකරුවෙකු වනතාක් ඒ සම්බන්ධයෙන් ඔහු වගකිව යුතු නොමැති බව අප පිළිගන්නෙමු. එහෙත් අප පුවත් පළකරන්නේ අසා දැනගත් කරුණු හෝ ඕපාදූප මත පිහිටා නොවේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් සියලු පරීක්ෂණ වාර්තා හා කටඋත්තර අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි අප පුවත් පළකරන්නේ.
ඔබට වැඩිදුර පැහැදිලි කිරීම් සඳහා ඔබ විසින් කුඩු චෝදනාවක් මත අත්අඩංගුවට ගත් තොටලඟ පුද්ගලයා පිළිබඳව සිහියට නගා ගන්න. එකී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එම තරුණයා විසින් ඔබට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම අතරතුර ඔබ ඔහුගේ මව හමුවී 'මම උඹේ පුතා මරනවා' යනුවෙන් කළ තර්ජනය පිළිබදව සිහිපත් කරන්න. ඔබ කිවූ ආකාරයටම එම තරුණයා වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේදී මියගියේ කෙසේදැයි අප දනිමු.
එමෙන්ම 2015 වසරේදී වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් පත්කළ ත්‍රිපුද්ගල කමිටුව හමුවේ සාක්ෂි දුන් කිහිප දෙනෙකු වැලිකඩ ඝාතනයට රංගජීව මහතා සම්බන්ධ බවට සාක්ෂි ලබා දී ඇති අතර ඒ අතර ඇසින් දුටු සාක්ෂි ද සහිතය. ගැටලුව ඇත්තේ එතැනයි. රංගජීව මහතා අදාල සිදුවීම සිදු වූ දිනයේ වැලිකඩ බන්ධනාගාරයට පැමිණ බන්ධනාගාර රැඳවියන් තිදෙනෙකු බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගිය බව සාක්ෂිකරුවන් තහවුරු කර තිබේ. පසුව අදාල රැඳවියන් තිදෙනාගේ මළ සිරුරු හමු වූ අතර ඒ සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි තිබියදී පවා රංගජීව ඇතුළු සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම හරහා ඝාතනය වූ පුද්ගලයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සිදුවන්නේ බරපතල අසාධාරණයකි.
අපට පොලිස් පරීක්ෂක රංගජීව මහතා සමග කිසිදු පෞද්ගලික ගැටලුවක් නොමැත. එහෙත් මෙවැනි අතිශය බරපතල චෝදනා සහිත පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් හා වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටිය යුතු යුක්තිය පසිඳලන ආයතනය එවැනි බරපතල චෝදනා සහිත පුද්ගලයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ නම් එය බරපතල ගැටලුවකි.
වැලිකඩ ඝාතනය පිටුපස සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් අතිශය වැදගත් තොරතුරු අප සතුවන අතර ඉදිරියේදී ඒවා පිළිබඳව අනාවරණය කිරීමට අප බලාපොරොත්තු වෙමු. ශ්‍රී ලංකාවේ අධිකරණයන් තුළින් යුක්තිය, සාධාරණත්වය ඉටු නොවුනද මතු අනාගත පරම්පරාවේ පරිශීලනය උදෙසා මෙම සැබෑ තොරතුරු අපි සයිබර් අවකාශගත කරන්නෙමු. එය මතු දිනෙක යුක්තිය පසිඳලීමේදී නව මානයක් වනු ඇතැයි අප විශ්වාස කරමු.
0 comments :
Post a Comment