භූතානයෙන් උගනිමු !

භූතානයෙන් උගනිමු !
මෙම තත්ත්වය තුළ වත්මන්  යහපාලන ආණ්ඩුවේ පොරොන්දු ලැයිස්තුවේ අංක බවට පත් වුයේද  අල්ලස, දුෂණයෙන් තොර රටක් බවට පරිවර්තනය වීමය. ඒ අනුව පසුගිය කාලය පුරාම අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතාගේ මඟපෙන්වීම යටතේ ඒ සඳහා වූ වටපිටාව ක්‍රමානුකූලව සකස් කෙරෙමින් පවතින්නේය. අල්ලස දුෂණය අවම මට්ටමට රැගෙන විත්  ඇති කලාපයේ සෙසු රටවල ක්‍රමවේදයන් අධ්‍යයනය කරමින් විශේෂයෙන් නිවාරණය මුල්කරගනිම්න් ක්‍රියාපටිපාටිය සකස් කිරීමට කොමිසම විශාල උත්සහයක් ගනිමින් හිඳියි. එහි පියවරක් ලෙස පසුගියදා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ ඉහළ නිලධාරින්ගෙන් සමන්විත් දූත පිරිසක් භූතාන රජයේ ආරාධනය මත  එහි ගොස් තිබුණි. 
 
කොමිසමේ අධ්‍යක්ෂ ජනරල් සරත් ජයමාන්න මහතාට අනුව එය ඉතා සුවිශේෂී අවස්ථාවකි. අල්ලස දුෂණය වැලැක්වීමට පෙර සංස්කෘතික වශයෙන් මිනිසා වෙනස් කළ යුතු හා වෙනස් විය යුතු ආකාරය පිළිබඳව එහිදී ඔවුන් විශේෂ පරිචයක් ලබා ගෙන තිබේ.
 
භූතානය සිය ජනතාවට ආදර්ශය ලබා දී ඇත්තේ දේශපාලන නායකත්වය නිවැරදි මාර්ගයේ යමින්ය. භූතානයේ තවදුරටත් රාජාණ්ඩු ක්‍රමයක් පැවතියත් ඔවුන්ගේ පාර්ලිමේන්තුවට පිවිසීමට නම් විශ්ව විද්‍යාල අධ්‍යාපනය අනිවාර්ය කාරණයකි. දේශපාලනයට දොරටු විවර කර ගැනීමට පෙර ඔවුන් දැනුමෙන් බුද්ධියෙන් සවිමත් වී සිටිය යුතුය. ඔවුන්ගේ උත්තර මණ්ඩලය සමන්විත වන්නේ ඡන්දයෙන් පත්වන්නන් නොවන අතර විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයින්ගෙන්ය. අල්ලස් කොමිසමට ඔවුන් ඉතා ගෞරවයෙන් සැලකුම් කරන අතර එරට අගමැතිවරයා සියලුම ඇමතිවරුන්ගෙන් ප්‍රතිඥාවක් ගන්නේ අල්ලස දුෂණ වැලැක්වීම වෙනුවෙන් වූ හරයන් ක්‍රියාත්මක කරන බවටය. ඊට අමතරව සෑම අමතිවරයෙකුගේම කාර්යක්ෂමතාව හා කුසලතාව වසරක් පාසා පිරික්සයි. ඔවුන්ද ඊට අවනතය. මිනිසුන් තුළ ගොඩනගා ඇති සංස්කෘතිකමය වෙනස්කම විසින් ඔවුනොවුන් විසින්ම නිවැරදි මාර්ගය තෝරා ගෙන තිබේ.
 
අල්ලස, දුෂණය එන්නත් වී ඇති අපගේ භූමිය ඉන් විරුද්ධ අතට ගැනීම හිතන තරම් ලේසි පහසු කාරණයක් නොවේ. එහෙත් දැන් සමාජය තුළින්ම ඊට මතවාදයක් ගොඩනැගී ඇති හෙයින් දේශපාලන  අධිකාරියට බලපෑම් කිරීමේ ශක්තියක් සිවිල් සමාජයට වෙයි. සමාජය සංස්කෘතිකමය වශයෙන් වෙනස් කරන්නට අවස්ථාව උදා වී ඇති මේ යුගයේ ඊට සියල්ලෝම සිය දායකත්වය ලබා දීමට වගබලා ගත යුතුය. ඊට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව ගෙනයන ශක්තිමත් වැඩපිළිවෙලට සිවිල් සමාජය සිය උපරිමය ලබා දීම අත්‍යාවශ්‍යව ඇත.
 
ආශිකා බ්‍රාහ්මණ 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment