ICT අපනයනයෙන් පළමු ස්ථානයට එන්න ශ්‍රි ලංකාවේ සැලසුම්.


එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ගෝලීය ඉලක්ක 9 වන කර්මාන්ත නවෝත්පාදන සහ යටිතල පහසුකම් (Industry Enovation and Infrastructure ) සංවර්ධනය යටතේ ශ්‍රී ලංකාව තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය ආශ්‍රිත කර්මාන්තකරණයට නැඹුරු වී සිටින බවත්, මේ වන විට තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය (ICT - Information and Communication Technology ) කර්මාන්ත අපනයනයෙන් 4 වන ස්ථානයේ පසුවන බවත්, එය ඉදිරි වසර කීපය තුළ පළමු ස්ථානයට ගෙන ඒමට අපේක්‍ෂා කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කොළඹ සිනමන් ලේක් හෝටලයේ පැවති " ඩිජිටල් වෙළඳ හා කර්මාන්තකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ආසියානු ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වැඩමුළුවේ " ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.

මෙම ජාත්‍යන්තර සමුළුව 2018 මාර්තු 08 - 09 දිනවල පැවැත්වුණි. මෙම සමුළුව එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා වාණිජ කටයුතු සංවිධාන හෙවත් UNCTAD  සංවිධානය විසින් සංවිධානය කරන ලද අතර, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, ඉන්දියාවේ ලෝක වෙළඳ සංවිධාන අධ්‍යයන මධ්‍යස්ථානය (Center for WTO Studies of India ) හා ශ්‍රි ලංකා අපනයන ණය රක්‍ෂණ සංස්ථාව (Sri Lanka Export Credit Insurance Coperation ) සහයෝගය ලබා දී තිබුණි. මෙහිදී කර්මාන්ත හා ව්‍යවසායකත්වයන්, ඩිජිටල්කරණය හා කර්මාන්තකරණය කිරිම පිළිබඳව වන ප්‍රතිපත්ති සම්පාදනය ගැන අවධානය යොමු කෙරුණි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.

"වර්තමාන ශ්‍රි ලංකාව එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ගෝලීය ඉලක්ක ළඟා කර ගැනිම පිණිස කැපවී කටයුතු කරනවා. එම ගෝලීය ඉලක්කයන්ගේ 9 වැනි ඉලක්කය වන කර්මාන්ත නවෝත්පාදන සහ යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා මේ වන විටත් කටයුතු කරමින් සිටිනවා. එහි කොටසක් වශයෙන් අපේ රජය දැනටමත් තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය (ICT) ආශ්‍රිතව වඩා හොඳ භාවිතාවන් පිළිබඳව අවධානය යොමු කර තියෙනවා. මෙම කාර්මිකකරණය හා නිෂ්පාදනය ශ්‍රි ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාම ඉහළ නැංවීම සඳහා ඇති ප්‍රධානතම නියමු ක්‍රියාවලියක් වෙනවා. එම නිසා මගේ අමාත්‍යාංශය උත්සහ කරන්නේ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ගෝලීය ඉලක්කයන්හි 9 වැනි රාමුව සමඟ ඒකාබද්ධ වී, ඊට අනුගත වී අපගේ කර්මාන්ත නඟා සිටුවීම අපගේ ඉලක්කයයි. එය පාදක කර ගනිමින් රටේ සංවර්ධනයට ප්‍රධාන නියමු ව්‍යාපෘති දෙකක් අප ආරම්භ කරලා තියෙනවා.

මෙම තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය අප රටේ වේගයෙන්ම ව්‍යාප්ත වන අංශයක් බවට දැන් පත් වෙලා තියෙනවා. එම නිසා තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රය සහ විශේෂඥයින් දිරිමත් කිරීම හා නගා සිටුවීම ජාතික ඩිජිටල් සංවර්ධනය යටතේ කළ යුතු කාර්යක් වෙනවා. අප රටේ දේශීය තොරතුරු සන්නිවේදන ආයතන 300 කට වඩා වැඩි ප්‍රමාණයක් තමන්ගේ මෘදුකාංග නිෂ්පාදන ලෝකයේ රටවල්වලට අපනයනය කරනවා. ඒ අතර උතුරු ඇමරිකාව, යුරෝපා සංගමය, ඕස්ට්‍රේලියාව, නැගෙනහිර ආසියාතික හා මැදපෙරදිග රටවල් මෙන්ම අප්‍රිකාව හා උතුරු කලාපය විශේෂ වෙනවා. මීට අමතරව අප ලෝකයේ සුපිරි 500 යේ කර්මාන්ත සමග ද එකතුව සිටිනවා. එසේම ස්වීඩනය, නොර්වේ, එක්සත් ජනපදය, හා ජපානය ඇතුළු රටවල් කීපයක් සමඟ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ හවුල් ව්‍යාපාරද ආරම්භ කර තියෙනවා. එසේම අපගේ රජයේ දැක්ම වන්නේ 2022 දී ශ්‍රි ලංකාව තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ නවෝත්පාදන හා ඩිජිටල් සවිබල ගැන්වීම සහිත වූ තරඟකාරී තොරතුරු සන්නිවේදන තාක්‍ෂණයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමයි. එමඟින් අපි තොරතුරු තාක්‍ෂණ අංශයේ නව රැකියා අවස්ථාවන් 200,000 ක් උත්පාදනය කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙවැනි පරිසරයක් යටතේ, මෙම වැඩමුළුව ශ්‍රි ලංකාව ඇතුළු දියුණු වෙමින් පවතින ආසියාතික රටවල් සඳහා වැදගත් වෙනවා. එසේම මෙමඟින් ඔබ සැම දෙනා දන්නා පරිදි ඩිජිටල් ආර්ථිකය, වෙළෙඳ හා කාර්මීකරණය යන දෙඅංශයෙන්ම නව අවස්ථා ජනිත කිරීමට විභ්‍යතාවක් සපයනවා. මම විශ්වාස කරනවා මෙම වැඩමුළුව අපගේ ඩිජිටල් ධාරිතාවන් වැඩි දියුණු කර ගැනීමට, ද්වී පාර්ශික හා බහු පාර්ශික වෙළෙඳාම කෙරෙහි ප්‍රබල දායකත්වයක් ලබා දෙන බව සතුටින් සඳහන් කළ යුතුයි. " යැයි පැවසීය.

මෙම අවස්ථාවට UNCTAD සංවිධානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ආචාර්ය රශ්මි බංගා (Rashmi Banga) රජයේ වාණිජ අධ්‍යක්‍ෂ ජනරාල් සොනාලි විජේරත්න යන මහත්ම මහත්මීන් ද කතා කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment