
අලුත් අවුරුද්දට අලුත් ඇඳුමක් අවශ්‍යයමද? මේ ප්‍රශ්නයමත් සමහරුනට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
ගෙදර ගිහින් අල්මාරි, පෙට්ටගම්, සූට්කේස් අවුස්සලා බැලුවොත් ඇඳපු නැති අලුත් ඇඳුමක් නැත්නම් දිනක් දෙකක් ඇඳ තැබූ තවමත් අලුත් පාට පවා ඉතිරිව ඇති ඇඳුමක් සොයා ගැනීමට අපහසු වෙන එකකුත් නැහැ. නෑදෑයන්, යාළු මිත්‍රයන්ගෙන් විමසුවහොත් ඔවුනට නොගැලපෙන ඒත් අපිට හරියටම හරියන අලුත් ඇඳුමක් ඔවුන් ළඟ තිබී සොයා ගැනීමටද අවස්ථාවක් උදාකර ගන්නත් පුළුවන්. ඒත් එහෙම කරන්න ඔළුව හදාගන්න අමාරුයි. පොරකකා , තෙරපි තෙරපී, රස්තියාදුවෙලා , එපාවෙලා , අනිත් අයත් මෙහෙමනම් ඇයි අපිත් එහෙම නොවන්නේ වෙලා ලබා ගන්නා අලුත්ම අලුත් ඇඳුම මිස වෙන කිසි ඇඳුමක් හරියන්නේම නැහැ. මෙහෙම ගන්න ඇඳුම බොහෝවිට ගෙදර ගෙනාවට පස්සේ අඳින්නට බැරි, ආසාවක් ඇති නොවන, අපරාදේ සල්ලි යයි කනස්සලු විය යුතු වර්ගයේ ඇඳුමක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ කොහොම වෙතත් වඩා වැදගත් වන්නේ ගැනීම! 'හැමෝම ගන්නේ, කොහොමද මම විතරක් නොගෙන ඉන්නේ!' මේක තමයි මනසේ තර්කය. මොකක්ද හැබෑවටම මේ වුවමනාවේ සැබෑව? එහෙම නැත්නම්, මොකක්ද මෙහි ඇති සැබෑ වුවමනාව?
ඉස්සර, අපි පොඩි කාලේ අපේ සමාජ ස්ථරයේ හුඟාක් අයට අලුත් ඇඳුමක් ලැබුනේ අවුරුද්දකටම එකක් හෝ දෙකක්. අලුත් අවුරුද්දට, නත්තලකට, විශේෂ සිද්ධියකට... ඒක හොඳ ඉස්තරම් ඇඳුමක්නම් ඒක අවුරුද්දක් දෙකක් ඉස්තරම් ගමන්වලට ඇන්දා කියලා කාටවත් හීනමානයක්, අඩුවක් දැනුනේ නැහැ. අලුත් අවුරුදු කාලේ සමුපකාර කඩේට අලුත් චීත්ත ආවාම සමහර පවුල්වල මුළු පවුලම අවුරුද්දට ඇඳුම් මැහුවේ එකම චීත්ත රෙද්දෙන්! කාටවත් ඒකේ ගැටලුවක් තිබුනෙත් නැහැ. නගරේ ඉන්න අය අවුරුද්දට ගමේ යද්දී එහේ ඉන්න අයට අලුත් මෝස්තරයේ, ගමේ හොයාගන්න බැරි , එහෙමත් නැත්නම් කල් පවතින හොඳ ඇඳුමක් අරන් ගියා තමයි. ඒක ඇගයීමට ලක්වුණ, හැමෝම සතුටු වුණු කාරණයක් වෙන්නත් ඇති. ඒත් දැන්?
දැන් ඇඳුම් කියන්නේ නිම නොවන නිපැයුමක්! රට තුළ රෙදි නිෂ්පාදනය වුනු අත්යන්ත්‍ර, පේෂකර්මාන්ත පන අදිමින් තියෙනවා වුනාට ඇඟලුම් කර්මාන්ත වැහි වැහැලා. පිටරටවලට යවන්න හදපු බ්‍රෑන්ඩඩ් ඒවා කන්ටේනර් පිටින් මෙහෙ බානවා.. ඒ මදිවට ඉම්පෝටඩ් ඒවා.. නගරේ විතරක් නෙවෙයි ගමෙත්! ඉතින්, අවුරුදු එනකන් අවුරුද්දටම ගන්න එකම ඇඳුම ගන්න හෝ ලැබෙනකන් බලා ඉන්න අය ඉන්නේ කොහේද? අපි යටවෙලා ඉන්නේ මේ නිම නොවන ඇඟලුම් යන්තරේට. ඒක අපිට හරි ඇගෑලුම්. අපේ අතෘප්තිය, නිම නොවන ආශාව, කොන්වීමේ භීතිය, මෙතැන මේ මොහොත ජීවත්වීමේ නොහැකියාව, කෙළවරක් නැති එකතු කරගැනීම හා නිම නොවන ඉවෙන්ට්ස් වෙෙළඳපොළට බොහෝ වාසිසහගතයි!
ඒ කොහොම වුනත් අපිට තර්ක අදාළ නැහැ. 'ඒහි පස්සිකෝ' කියපු බව හැමෝම දන්නවා විතරක් නෙවෙයි, ඒක ගැන කියනවා, ඒත් අදාළ කරගන්නේ නැහැ. කිවීම, කියවීම හා අදාළ කරගැනීම අතර වෙනස දැනගෙන ඉන්න එපායැ ඒක තේරෙන්න! ඔහේ යන්නන් වාලේ යනවා. 'එව, බලව' කිව්වේ දුවන්නන්වාලේ නොදුවා සැබෑව අවබෝධ කරගන්න කියලයි. ඒක අදාළ වන්නේ ධර්මයට පමණක්වත් බණ අහන මොහොතට හෝ පන්සිල් සමාදන්වන මොහොතට පමණක්වත් නෙවෙයිනේ. ඒක ජීවිත කාලය පුරා හැම මොහොතකටම අදාළ වන සත්‍යය. අපිට මේ පුංචි සත්‍යය තේරුම්ගන්නවත් වෙලාවක්, නිදහසක් නැහැ! අවසානයේදී අපි ජීවිතය අවසන් කර ඇත්තේ එකක් පිටිපස්සේ තවෙකක් වශයෙන් එන ඉවෙන්ට්ස් සහ කෙළවරක් නැතිව එකතු කරගත් බඩු මූට්ටු හරහා. ඇත්තටම 'ජීවිතය' කියන්නේ මේකද?
ගොවියෙකුට ඕනෑ වුනාලු පරණ පිදුරු ටික තමන්ගේ හරක් රංචුවට දීලා ඉවර කරගන්න. ළඟට ගිහින් දැම්මට හරක් රංචුව පරණ පිදුරුවලට ළංවෙන්නෙවත් නැහැලු. මොහොතක් සිතූ ගොවියා පරණ පිදුරු ගෙන ගොස් වැටෙන් එහා පැත්තේ අයිනේ ගොඩ ගැහුවලු. උදේ බලද්දී පරණ පිදුරු ගොඩම ඉවරයි. හරක් ටික කම්බි වැටෙන් එහාට ඔළුව දාලා පරණ පිදුරු ගොඩ කාලා!
අපිත් හරියට මෙන්න මේ හරක් රංචුව වගේ! අපේ ජීවිතේ සම්පූර්ණව අපි ළඟ, අපි තුළ තියෙද්දී අපි පිස්සුවෙන් වගේ වෙන කොහේදෝ ජීවිතේ හොයනවා! මේක තමයි දුඛ! දුක නෙවෙයි, දුඛ! අතෘප්තිය, සෑහීමකට පත් නොවීම, තව තවත් හඹා යාම, මෙතැන මේ මොහොතේ ඇති දේ නොව තවමත් අයත් කර නොගත් දේ හරිම දේ/හොඳම දේ/තමාට නිසැකවම අවශ්‍ය දේ ලෙස විශ්වාස කිරීම.
අලුත් ඇඳුමකින්, අලුත් පුටු සෙට් එකකින්, වඩා ලොකු ටීවී එකකින්, බ්‍රෑන්ඩ් නිව් කාර් එකකින්, අලුත් පෙම්වතෙක් හෝ පෙම්වතියකගෙන්, කෙළවරක් නැති උත්සව හා සිදුවීම්වලින්, කොටින්ම සොයාගත් අලුත් හේතුවකින් හැකි වේවිද අපේ මේ අතෘප්තිය සංසිඳුවා ගැනීමට!! තව තවත් සොයමින් හා සොයමින් පමණක්ම සිටිද්දී හදිසියේ මියගියහොත්? බොහෝවිට විය හැක්කේත් එයයි, විඳීමට පෙර වේලාව අවසන් වීම! මේ මොහොතේ මෙතැන හුස්ම ගනිමින් ඉන්නා, මේ 'මම'ම කෙතරම්නම් ආශ්චර්යක්දැයි තේරුම්ගන්නට අපට හැකි වුවහොත්! එවිට, මොහොතකට හැකිවේව් විඳින්නට. මිය යාමට පෙර තවත් හිරු උදාවක්, තවත් කුරුළු හඬක්, තවත් පිපෙමින් පවතින මලක්, තමා හා සිනාසෙන තවත් මනුස්සයෙක්! කෙතරම් සුන්දරද?
වරද ඇත්තේ අලුත් හේතු හෝ/හා අලුත් දේවල් සෙවීමේ නෙවෙයි, විඳීමට නොදන්නාකමෙයි! කළ යුත්තේ ජීවිතේ විඳින්න අලුත් හේතු හෝ අලුත් දේවල් සෙවීම පමණක් නොව, අලුත් කිසිවක්ම නැතිව වුවද මේ මොහොතේ මෙතැන ඇති මේ ජීවිතේ විඳීමයි. එසේ කිරීමට අප අතරින් කී දෙනෙකුට හැකිවේවිද? මොහොතක් නැවතී සොයාපු දේ ලැබුනාට ස්තූතියි කියා ජීවිතේට ස්තූති කළ හැකි කී දෙනෙකු අප අතර වේද? 'දේවල්' මත නොව තමා කෙරෙහි, තමා සම්බන්ධව සෑහීමකට පත්විය හැකි අය කවුරුන්ද? සෑහීමකට පත්වෙන්නනම් මරණය ගැන දැනුවත් වෙන්නම වෙනවා. මරණය එන බවට අවධියෙන් ඉන්න වෙන්න වෙනවා. මරණයට සූදානම් වෙන්න වෙනවා. එහෙම නොවූනොත් ඉතින් මෙතැනත් මිස් කරගෙන අලුත් ඇඳුම්, අලුත් ඉවෙන්ට් සොයමින් ඉන්න තමයි වෙන්නේ!
ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යතී
සැපට වැඩුණු කය පොළවට දිරා යතී
අපට නොවෙයි බඹුටත් මරු ළඟා වෙතී
පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙතී
ඉස්සරනම් අපි ගමන් බිමන් යන බස්වලට නගින සැබෑ යාචකයන් මේ කවි කියලා අපිට මරණය ගැන මතක් කරගන්න උදව් වුනා. අපිට ඒ කවි කටපාඩම් වුනේ එහෙමයි. දැන් ඒ මිනිස්සුත් නෑනේ!
සොඳුරු මරණය පෙර ලිපි:
සොඳුරු මරණය 01 - ජීවිතය සහ මරණය
0 comments :
Post a Comment