සොරගුනේ දේවාලයේ ඉඩම් වංචාවන් යටගැසීමට බෞද්ධ කොමසාරිස්ට බලපෑම්

සොරගුනේ දේවාලයේ ඉඩම් වංචාවන් යටගැසීමට බෞද්ධ කොමසාරිස්ට බලපෑම්

සොරගුනේ කතරගම දේවාලයේ වැඩ රාජකාරිවලට අයත් ඉඩම් විශාල ප්‍රමාණයක් බස්නායක නිලමේ විසින් සින්නක්කර හා බදු වශයෙන් විවිධ පුද්ගලයන්ට ලබා දී ඇත. ඉඩමක් විකිණීමේදී එම ඉඩමට ඉටුකළ යුතු දේවාලයේ රාජකාරි නිවැරදිව ඉටුකර ඇති බවත් එම ඉඩම පැවරිම පිළිබඳ දේවාලයේ විරුද්ධත්වයක් නොමැදු බවටත් බස්නායක නිළමේ විසින් නිර්දේශයක් බෞද්ධ කටයුතූ දෙපාර්තමේන්තුවට නොමිලේ ලබා දිය යුතූය. මෙම නිර්දේශ ලිපිය ලබාදීමට ඉඩමේ ප්‍රමාණය අනුව විශාල මුදලක් නීතියට පිටින් වංචනිකව බස්නායක නිළමේ ජනක රවින්ද්‍ර කළුපහන විසින් ලබාගනී.

බෞද්ධ කොමසාරිස් විසින් ඉඩම් නව අයිතිකරුට පැවරිමට නිර්දේශය බදුල්ල ඉඩම් කාර්යාලයට ලබාදීමෙන් පසුව පමණක් නව අයිතිකරුගේ නමින් ලියාපදිංචි කෙරේ. නමුත් වසර ගණනක සිට බස්නායක නිළමේ බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ රත්නපුර කාර්යාලයට හා බදුල්ල ඉඩම් කාර්යාලයේ පිරිසකට අල්ලස් ලබාදී බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශ නොමැතිව බස්නායක නිලමේගේ නිර්දේශය මත පමණක් ඉඩම් නව අයිතිකරුගේ නමින් ලියාපදිංචි කෙරේ.

නිසි පවරාදීම් නැහැ

දේවාලයට අයත් ඉඩම් අක්කර දහස් ගණනක් තිබුණද ඉඩම් නිසි අයුරු මිනුම්ගතකර ඒවාට වෙන්වෙන්ව පිඹුරු සකස්කර නිවැරදි ක්‍රමවේදයකට විනිවිදභාවයකින් යුතූව පුද්ගලයන්ට නීත්‍යානුකූල ඔප්පු මගින් පවරාදීමක් කර නැත. දේවාලයට අයත් ඉඩම් මිනුම් කටයුතු කරන ලෙස බෞද්ධ කටයුතූ දෙපාර්තමේන්තූව බස්නායක නිළමේට නියෝගයක් ලබා දී ඇති නමුත් ඔහු එය පැහැර හැරීම පිළිබඳ දේශපාලන බලපැම් මත මේ වනතුරුත් කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

රජයේ ඉඩම්වලටත් ඔප්පු හදලා

මෙම ඉඩම්වල නිවැරදි විස්තරයක් බෞද්ධ කටයුතූ දෙපාර්තමේන්තුවේ හෝ සොරගුනේ දේවාල කාර්යාලයේ නොමැත. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වන රක්ෂණ දෙපාර්තමේන්තූවේ වන ජීවි දෙපාර්තමේන්තුවේ කාර්යාලවල රජයේ ඉඩම්වල නිවරදි විස්තරයක් නොමැති නිසා බස්නායක නිළමේ ජනක රවින්ද්‍ර කළුපහන එම අඩුපාඩුව තම වාසියට හරවාගෙන එම කාර්‍යාලවල සේවකයන්ගේ සහය ලබාගෙන දේවාලයේ ඉඩම් වලට අමතරව ප්‍රදේශයේ ඇති රජයේ ඉඩම් සඳහාද ව්‍යාජ ඔප්පු සකස්කර විවිධ පුද්ගලයන්ට ලබාදී ඇත.

එකම ඉඩම කිහිප වතාවක් විකුණලා

ඉඩම් මිලදී ගත් පුද්ගලයන් විවිධ හේතු මත ඉඩමට වසර ගණනාවකින් නොපැමිණි විට එම ඉඩමට වංචනික ලෙස නැවත ඔප්පු සකස්කර වෙනත් පුද්ගලයන්ට විකුණූ අවස්ථාද ඉඩම් නිවැරදිව මැන පිඹුරු සකස්කර නොමැති නිසා එම අඩුපාඩුව වාසියට ගෙන විකුණා ඇති ඉඩම්වලින් කොටසක් වංචනික ලෙස නැවත ඔප්පු සකස්කර වෙනත් පුද්ගලයන්ට විකුණූ අවස්ථාද සෑහෙන ප්‍රමාණයක් ගැන බෞද්ධ කටයුතූ දෙපාර්තමේන්තුවට පැමිණිලි රාශියක් ලැබී ඇති නමුත් විවිධ බලපෑම් මත ඒවාට කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

කුවිතාන්සි නැහැ - බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව අඩ නින්දේ

දේවාලයේ ඉඩම් වෙනුවෙන් වාර්ෂිකව එම ඉඩම් අයිතිකරුවන් විසින් දේවාලයට ඉටුකළ යුතු වැඩ රාජකාරි පිළිබඳව නිවැරදි තොරතුරක් බස්නායක නිලමේ විසින් ඉඩම් අයිතිකරුවන්ට ලබානොදී ඔවුන්ගේ වත්කම් අනුව වංචනිකව විශාල මුදලක් අයකරගනියි. මීට අමතරව වාර්ෂික පෙරහැර සඳහාද විශාල මුදලක් ලබාගනී. මෙම ගෙවීම්වලට නිවැරදි කුවිතාන්සි ලබා දී නොමැත. විවිධ බලපෑම් හේතුවෙන් බෞද්ධ කටයුතූ දෙපාර්තමේන්තුව බස්නායක නිලමේ ලබාගන්නා මුදල් හා දේවාලයේ ආදායම් නිවැරදි ආකාරයට විගණනයකට ලක්කර නොමැත.

නීතිගරුක නිලධාරීන්ටත් ඉඩක් නැහැ

රත්නපුර සහකාර බෞද්ධ කොමසාරිස්වරිය ලෙස කුමුදු කුලතුංග මහත්මිය පත්කර තිබුණද ප්‍රවාහන පහසුකම් ලබානොදීම හේතුවෙන් ඇයට රත්නපුර කාර්‍යාලයට සදුපතා යාමට නොහැකි වීමත් ඇය ප්‍රසූත නිවාඩුලබා සිටි කාලයේ ඒ වෙනුවට වෙනත් අයෙක් පත්කර රාජකාරින් නිසි අයුරු ආවරණය නොකිරීමත් නිසා රත්නපුර කාර්යාලයේ පිරිසකට අල්ලස් ලබා දී බස්නායක නිලමේ විසින් ඉඩම් වංචාවන් දිගටම කිසිම බාධාවකින් තොරව සිදුකරන ලදී. නමුත් රත්නපුරට මෑතකදී පත්කළ සහකාර බෞද්ධ කොමසාරිස් සහන් කුරුප්පු මහතා බලපෑම්වලට යටත් නොවී නිවැරදිව රාජකාරි ඉටුකර බස්නායක නිලමේ විසින් සිදුකර ඇති ඉඩම් වංචාවන් පිළිබඳ පැමිණිළි එක්රැස් කරන ලදී. බස්නායක නිලමේ විසින් සිදුකර ඇති වංචාවල බරපතළකම අනුව දේවාල පනතේ 15/1 වගන්තිය අනුව කටයුතු කර පරීක්ෂණයක් ආරම්භ කළ නමුත් බෞද්ධ කොමසාරිස් ජෙනරාල්තුමාට විවිධ පුද්ගලයන්ගෙන් බලපෑම් එල්ලවීම හේතුවෙන් එම පරීක්ෂණයද යටපත්වී ඇත.

උදිත ලොකුබණ්ඩාරගෙන් බලපෑම්

පසුගිය රජය සමයේ බස්නායක නිළමේ ජනක රවින්ද්‍ර කළුපහන විසින් සිදුකළ ඉඩම් වංචාවන් පිළිබඳ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට හා හපුතලේ පොලිසිට පැමිණිලි රාශියක් කර ඇති නමුත් උදිත ලොකු බණ්ඩාරගේ බලපෑම් මත ඒ සියල්ල යටපත් වී තිබේ. යහපාලන රජය යටතේද බස්නායක නිළමේ සිදුකරන වංචාවන්ට බෞද්ධ කටයුතූ දෙපාර්තමේන්තුව ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැටළු සහගත තත්වයකි. ඉදිරියේදී විශේෂ පරික්ෂණ මණ්ඩලයක් පත්කර පරික්ෂණයක් කරනතුරු බස්නායක නිළමේගේ රාජකාරි අත්හිටුවා භාරකාර මණ්ඩලයක් යටතට පත් නොකළහොත් අමාත්‍යාංශයේ, ඇමතිගේ හා කොමසාරිස්ගේ ප්‍රතිරූපයට හානිවිය හැකි බැවින් එම හානිය වළක්වා දෙපාර්තමේන්තූවේ කීර්තිනාමය රැක ගැනිම ඔවුන්ගේ වගකීම වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment