මිහින් ලංකා : ගෝඨාගේ දෝෂ සහිත ආකෘති පත්‍රයට අනුමැතිය.




මිහින් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය නීතිගත සමාගමක් බවට පත්කරන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ දෝෂ සහිත ආකෘති පත්‍රය ලැබී දින හතරක් ඇතුළතදී එවකට සිටි සමාගම් රෙජිස්ට්‍රාර්වරයා එය නීතිගත කර ඇතැයි ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේදී ඊයේ (7) අනාවරණය විණි.

නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ආකෘති පත්‍රය නීතිගත සමාගමක් බවට පත්කළ ලේඛනය භාරගත් පුද්ගලයාගේ නම හෝ හැඳුනුම්පත් අංකය සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තු ලේඛනයේ සඳහන් වී නැත.

අත්සනක් පමණක් සඳහන්ව තිබෙන බවත් කොමිසම ඉදිරියේ අනාවරණය විය.

මිහින් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සමාගමක් බවට පත්කිරීමට ආකෘති පත්‍රය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙන්නේ 2006 ඔක්තෝබර් 23 දාය.

එය සමාගමක් බවට ලියාපදිංචි කර ලියාපදිංචි ලේඛන භාරදී තිබෙන්නේ 2006 ඔක්. 27 දාය.

සමාගමේ කොටස්කරුවන් වන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ, එවකට හිටපු ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශයේ එවකට හිටපු ලේකම් පුංචිබණ්ඩා ජයසුන්දර, එවකට සිටි ගුවන් හමුදාපති රොෂාන් මහේෂ් ගුණතිලක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් සජින් ද වාස් ගුණවර්ධන යන මහත්වරුන්ය.

රුපියල් මිලියන 500 ක නාමික ප්‍රාග්ධනයක් යොදා සමාගම ආරම්භ කර ඇති අතර ඉහත කී කොටස්කරුවන් සිව්දෙනාට එක කොටස බැගින් කොටස් හිමිවී තිබුණ බවත් කොමිසම ඉදිරියේ වැඩිදුරටත් හෙළිදරව් වුණි.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතාගේ විමැසීම් හමුවේ සාක්ෂි දෙමින් සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ රාජ්‍ය කළමනාකරණ සහකාර ඉන්දික රොෂාන් දීප්ත ගුණවර්ධන මහතා කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් මෙම තොරතුරු පැවැසීය.

සාක්ෂිකාර ගුණවර්ධන මහතා මෙම තොරතුරු පැවසුවේ විශ්‍රාම ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා සභාපතිත්වය දරන විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ඒ. ජී. ආර්. අමරසේකර, හිටපු මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, හිටපු නියෝජ්‍ය විගනකාධිපති එච්. ඩී. ඒ. හැරල්ඩ් මහත්වරු සහ විගණන ප්‍රධාන සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. ජී. කේ. ගීගනගේ මෙනවියගෙන් හෙබි පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment