ශ්‍රී ලංකාවට ඩොලර් ගලා එයි : රුපියල ක්‍රමයෙන් ශක්තිමත් වන ලකුණු!



පසුගිය සතියේ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සීඝ්‍රයෙන් පහළ ගිය ශ්‍රී ලංකා රුපියලේ අගය මේ වන විට ක්‍රමයෙන් ශක්තිමත් වන ලකුණු පෙන්නුම් කර තිබේ.

ගෙවී ගිය සතිය තුළ දී එක්සත් ජනපද ඩොලරයක් සඳහා වූ ඉහළම රුපියල් අගය වාර්තා වූ අතර 2018 ජූනි 21 දින ඩොලරයක ගැනුම් මිල රු. 158.11 ක් හා විකුණුම් මිල රු. 161.31 ක් ලෙසින් සටහන් විය. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවන්ට අනුව එදින නිරූපිත එතැන් එ.ජ.ඩොලරයේ විනිමය අනුපාතිකය, එක්සත් ජනපද ඩොලරයකට ශ්‍රී ලංකා රුපියල් 160.02 ක් ලෙසින් සටහන් වූ අතර එය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම නිරූපිත එතැන් වටිනාකම වේ.

කෙසේ වෙතත් අද (26) දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රු. 157.17 ක් හා විකුණුම් මිල රු. 160.26 ක් දක්වා පහළ ගොස් තිබේ. එසේම අද දින නිරූපිත එතැන් එ.ජ.ඩොලරයේ විනිමය අනුපාතිකය, එක්සත් ජනපද ඩොලරයකට ශ්‍රී ලංකා රුපියල් 158.64 ක් ලෙසින් වාර්තා වේ.

පසුගිය දින 6 ක කාලපරිච්ඡේදයක් තුළ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 1.2 ක මුදලක් ශ්‍රී ලංකාවට ගලා ඒම, මෙලෙස ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම සඳහා ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

එහිදී ඩොලර් මිලියන 584.19 ක් හම්බන්තොට වරාය ආයෝජනයේ අවසන් අදියර සඳහා වූ ආයෝජන වටිනාකම ලෙසින්, චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලබා දුන් අතර පසුගිය ජූනි 20 වනදා අදාළ චෙක්පත භාරදීම සිදුවිය.

එසේම ඊයේ (25) දිනයේ දී අවසන් වූ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුව හරහා එක්සත් ජනපද ඩොලර් මිලියන 700 ක ලංසු අනුමත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි. මෙම නිකුතුව සඳහා ලැබී තිබුණු මුළු ලංසු වටිනාකම ඩොලර් මිලියන 936.92 කි.

මේ අනුව ගෙවී ගිය දින 6 තුළ දී ශ්‍රී ලංකාවට ගලා ආ මුළු ඩොලර් ප්‍රමාණය මිලියන 1,284.19 කි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment