වෛද්‍යවරයකුගේ දීමනාව රු.15000කින් : විශේෂඥ රු.25000කින් ඉහළට.




දුරකථන ඇමතුමක් ලද විගසින් (On Call) හදිසි සේවා සඳහා රාජකාරියට පැමිණීම වෙනුවෙන් දැනට වෛද්‍යවරුනට ගෙවන දීමනාව (DAT) වූ රුපියල් තිස්පන්දහසක මුදල රුපියල් පනස් දහස දක්වාත්, විශේෂඥ වෛද්‍යවරුනට ගෙවන එම දීමනාව රුපියල් හැටදහස දක්වාත් වැඩි කිරීමට රජය තීරණය කොට ඇත.

ඒ අනුව දැනට රජයේ රෝහලක සේවය කරන එම්. බී. බී. එස්. වෛද්‍යවරයකු ලබන මෙම රුපියල් 35,000 දීමනාව රුපියල් 15000 කින් ද, විශේෂඥ වෛද්‍යවරයකු ලබන රුපියල් 35000 දීමනාව රුපියල් 25000 කින් ද වැඩිවන බව මහා භාණ්ඩාගාරයේ උසස් නිලධාරියකු පැවැසීය. වෛද්‍යවරුන්ට ගෙවන මෙම දීමනාව ලබාදීමට මෙතෙක් ක්‍රමවත් ක්‍රමවේදයක්ද ක්‍රියාත්මක නොවන බව ද එම නිලධාරියා කීය.

දැනට රජය මෙම දීමනාව රජයේ සියලු වෛද්‍යවරුන්ට ලබාදුන්නද එම සේවාවේ නිරත වන වෛද්‍යවරුන්, සැබෑ ලෙසම මෙම රාජකාරි සේවාවේ නිරතවී ඇති දැයි සොයා බැලීමට විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයක් මෙතෙක් නැතැයි සෞඛ්‍ය අංශයේ ප්‍රකාශකයකු

කීය. හදිසි රාජකාරි සේවා සඳහා රටේ පැවැති යුද තත්ත්වය බෙහෙවින් බලපෑ බව කී එම ප්‍රකාශකයා දැනට එවැනි තත්ත්වයක් නොමැතිවිටදී මෙවන් දීමනාවක් වැඩිකර ගෙවීමට රජය ගත් තීරණය විශේෂත්වයක් බව ද කීය. සීමාවාසික පුහුණුව අවසන්ව රජයේ රෝහලක වෛද්‍යවරයකු ලෙස මුල්ම ‍පත්වීම ලැබූ වෛද්‍යවරයකු මුල්ම වැටුප හා දීමනා ඇතුළත්ව ලබන වැටුප රුපියල් 167000 ක් බව ද, විශේෂඥ වෛද්‍යවරයකුගේ මුල්ම වැටුප රුපියල් 250000 ක් ද බව ද එම නිලධාරියා සඳහන් කෙළේය.

ඒ අනුව රජය නැවත වතාවක් රාජකාරි බාධා හා පැමිණීම සඳහා වූ ප්‍රවාහන දීමනාව (DAT) ඉහළ දැමීමට ගත් තීරණයත් සමඟ වෛද්‍යවරුන්ගේ මාසික වැටුප් හා දීමනා තවදුරටත් ඉහළ යන බවද ඔහු සඳහන් කළේය.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නියෝජිතයන් හා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා අතර පැවැත් වූ සාකච්ඡාවලදී එකඟතාව පළ කළ කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කරමින් මහා භාණ්ඩාගාරයේ නිලධාරියා මේ කරුණු අනාවරණය කළේය. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට ගත් මහා භාණ්ඩාගාරය මෙලෙස DAT දීමනා ඉහළ නැංවීමට තීරණයකොට තිබේ. ඒ අනුව මුළු රටේම සිටින රජයේ වෛද්‍යවරුන් 18000 ට මෙම දීමනාව ගෙවීමට රජයට වැයවන අතිරේක වැය බර රජයේ ආදායම් වැඩිකොට සොයා ගැනීමේ අභියෝගයට මුහුණදීමට මහා භාණ්ඩාගාරයට සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

රජයේ වෛද්‍යවරුන්ට නව දේශීය ආදායම් පනත හරහා අහිතකර බලපෑම් එල්ල වී ඇතැයි සංගමය නඟන චෝදනාව බැහැර කරන මහා භාණ්ඩාගාරය මාසයකට රුපියල් ලක්ෂ 3 ½ කට වඩා අධික වැටුපක් ලබන වෛද්‍යවරුන්ට පමණක් ඊට ඉහළ ආදායමට සියයට 24 බද්දක් ගෙවීමට සිදුවී ඇතැයි කීය.

මේ අන්දමට මාසයකට රුපියල් ලක්ෂ 3 ½ කට වඩා ඉහළ වැටුපක් ලැබීමට නම් වෛද්‍යවරු පෞද්ගලික වෛද්‍ය සේවාවේ නිරත විය යුතුයි. එසේ පෞද්ගලික වෛද්‍ය සේවාවේ නිරත නොවී රජයේ සේවයේ යෙදෙන වෛද්‍යවරුන්ට නව බදු පනතින් ගෙවිය යුත්තේ උපරිම සියයට 14 බදු ප්‍රතිශතයක් බව භාණ්ඩාගාර නිලධාරියා පැහැදිලි කළේය.

රජය දැනට වෛද්‍යවරුන්ට රුපියල් ලක්ෂ 36 ක බදු සහන සහිත වාහන බලපත්‍රයක් ලබාදේ. වසර 30 කින් රජයේ වෛද්‍යවරයකු ලෙස සේවයට බැඳී වයස අවුරුදු 60 දී විශ්‍රාම යන වෛද්‍යවරයකුට අඩුම තරමේ මේ රුපියල් ලක්ෂ 36 වාහන බලපත්‍ර 06 ක වටිනාකමේ බදු සහනයක් හිමිවේ. එම සහනවලට අවශ්‍ය වැයබර දරනුයේ රටේ සමස්ත බදු ගෙවන ජනතාව බව ද මහාභාණ්ඩාගාර‍ නිලධාරියා කීය. රජය යෝජනා කොට ඇති පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ලබාදීමේ වැඩපිළිවෙළේ ප්‍රමිතිය හා ගුණාත්මක තත්ත්වය ඉහළට දැමීමේ යෝජනා පිළිබඳව එතරම් උනන්දු නොවී අවම සුදුසුකම් ගැන පමණක් කතා කිරීමේ උත්සාහයක රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ පිරිස් යෙදී සිටින බවද එම නිලධාරියා පෙන්වා දුන්නේය.

වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමට රජයේ විශ්වවිද්‍යාලවල ප්‍රමාණවත් තරම් පහසුකම් නොමැතිකම නිසා අප රටේ වෛද්‍යවරයකු වීමට අධ්‍යාපනය ලබාදීමේ හා ලබාගැනීමේ ක්‍රමවේදය ලොව දියුණු රටවල හා විධිමත් අධ්‍යාපන ක්‍රමවේදයක් සහිත රටවල පවතින ගුණාත්මක හා ප්‍රමිතියෙන් ඉහළ අධ්‍යාපන ක්‍රමවේදයක් මට්ටමින් හඳුන්වාදීමේ දැඩි අවශ්‍යතාවයක් ඇතැයි එම නිලධාරියා පැහැදිලි කළේය.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉදිරිපත් කරන යෝජනා හා ඒවාට කෙසේ විසඳුම් ලබාදිය යුතු දැයි යන්න මහා භාණ්ඩාගාරය දැඩි සැලකිල්ලකට භාජනය කර සිදුකරන බවද ඔහු කියා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment