දෙවියන් කියූ නිසා උසාවියේ ගබඩාවෙන් ගංජා හොරකම් කරලා


"දෙවියෝ හීනෙන් පෙනිල මට කිව්ව උසාවිය බිඳින්න කියලා. මම ඒක කළා. ඊට පස්‌සේ දෙවියෝ මට කිව්වා බැංකුව කොල්ල කන්න කියලා. මම ඒකත් කළා. අද මට උසාවියෙන් පැනපන් කියලා කිව්වෙත් දෙවියොමයි" බන්ධනාගාර නිලධාරීන් භාරයේ රත්නපුර මහෙස්‌ත්‍රාත් අධිකරණයේ සිටියදී පෙරේදා (3 දා) පලා යෑමට තැත්
කළ සැකකරුවෙක්‌ නැවත අත්අඩංගුවට ගැනීමෙන් පසු විත්තිකූඩුවේ සිට මහෙස්‌ත්‍රාත් සාලිය චන්න අභයරත්න මහතා හමුවේ ප්‍රකාශයක්‌ කරමින් එසේ පැවසුවේය.

සැකකරුගේ එම ප්‍රකාශයත් සමගම මෙතෙක්‌ අභිරහසක්‌ව පැවති ඉකුත් ජුනි 17 වැනිදා රාත්‍රියේ රත්නපුර මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්‌ඩ කාමරය බිඳ ගංජා සොරා ගැනීමේ සිද්ධියේ සැකකරු ඔහු බවද හෙළිවිය. සිද්ධිය සැකෙවින් මෙසේය.

ඉකුත් ජුනි 17 දින රාත්‍රියේ රත්නපුර මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්‌ඩ කාමරය බිඳ ගංජා තොගයක්‌ සොරකම් කර තිබූ අතර සැකකරු පිළිබඳව හෙළි වී නොතිබිණි. ඉන් දින 2 කට පසු එනම් ජුනි 19 වැනිදා කිරිඇල්ල රාජ්‍ය බැංකුවකට කඩා වැදුණු මේ පුද්ගලයා සේවිකාවක්‌ බියගන්වා රුපියල් 84000 ක්‌ කොල්ල කා පලායැමට තැත්කිරීමේදී අවට සිටි ජනතාව විසින් ඔහු අල්ලා කිරිඇල්ල පොලිසියට භාරදී ඇත.


එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දම්බුළුවන දිමියාවේ පදිංචි මනන්නලාගේ විරාඡ් නිශාන්ත ජයලත් නැමති මෙම සැකකරු පෙරේදා (3 දා) දක්‌වා රිමාන්ඩ් භාරයේ රඳවා එදින යළිත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි. එහිදී පොලිසිය විත්තිකරුට එරෙහිව කිරිඇල්ල රාජ්‍ය බැංතුවක්‌ කොල්ල කෑමේ වරදට චෝදනා 3 ක්‌ ඉදිරිපත් කළ අතර ඔහු එම චෝදනා සියල්ලටම වරද පිළිගත්තේය. එම අවස්‌ථාවේ දඬුවම් නියම කිරීමට පෙර විත්තිකරුගේ ඇඟිලි සළකුණු වාර්තාවක්‌ කැඳවන ලෙසට මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය.

ඇඟිලි සලකුණු ලබා ගැනීම සඳහා සිරමැදිරියේ සිට අධිකරණයේ කාර්යභාර නිලධාරියා හමුවට කැඳවා ගෙන එන අවස්‌ථාවේ විත්තිකරු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගියේය. එසේ පැන යද්දී ඔහු අධිකරණ භූමියේ තිබූ කුණුවළකට වැටුණු අතර හඹාගිය බන්ධනාගාර නිලධාරින්ට ඔහු අල්ලා ගැනීමට හැකි විය.

උසාවියේ කාර්යභාර නිලධාරි කොස්‌තාපල් (29340) අමරසූරිය මහතා විසින් එම අවස්‌ථාවේම විත්තිකරුට එරෙහිව සිරභාරයෙන් පැන යාම සහ අධිකරණයේ කටයුතුවලට බාධා කිරීම යන චෝදනා 2 ක්‌ නගන ලද අතර එම චෝදනා දෙකටම විත්තිකරු වරද භාරගත්තේය. ඔහු එහිදී අධිකරණයේ නඩු භාණ්‌ඩ කාමරය බිඳ ගංජා සොරකම් කළ ආකරය විත්තිකූඩුවේ සිට ප්‍රකාශ කළේය. එම අවස්‌ථාවේ මහෙස්‌ත්‍රාත්වරයා උසාවියේ සොරකමට අදාළව විත්තිකරුගෙන් ප්‍රකාශයක්‌ සටහන් කර ගෙන ඉදිරි පියවර ගන්නා ලෙසට රත්නපුර පොලිසියට නියෝග කළේය.

අනතුරුව අධිකරණයෙන් පැන යාමේ චෝදනාවට විත්තිකරුට බරපතළ වැඩ ඇතිව වසර 2 ක සිර දඬුවමක්‌ නියම විය. විත්තිකරුගේ ප්‍රකාශ සටහන් කර ගැනීමේදී හෙළිවූ තොරතුරු අනුව බන්ධනාගාර නිලධාරීන් භාරයේ ඔහු සිය නිවසට කැඳවාගෙන ගිය අතර එහි තිබී අධිකරණයෙන් සොරකම් කළ ගංජා තොගයෙන් කොටසක්‌ පොලිසිය සොයාගත්තේය. එම ගංජාවලින් කොටසක්‌ සන්තකයේ තබාගෙන සිටි වෙනත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගන්නා ලදී. විත්තිකරු අගෝස්‌තු 7 වන දින යළිත් අධිකරණය හමුවට කැඳවීමට නියමිතය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment