පොලිස් බලතල ගන්න යුද හමුදාව සූදානම්?
මත් උවදුර ඇතුළු රටේ සිදු වන දුරාචාර දුරු කිරීම පිණිස යුද හමුදාවට ලබා දීමට යෝජිත පොලිස් බලතල අනුව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මේ වන විට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් පවතින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පැවසීය.
මත් උවදුර දුරු කිරීමට හමුදාවන්ට කෙටි කලකට පොලිස් බලතල ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව මේ සම්බන්ධව තමාට දැනුම් දී ඇති බවත්, ඒ අනුව පොලිස් බලතල ලබා දුන් පසු කටයුතු කළ යුතු ආකාරය ගැන විශේෂයෙන්ම පොලීසිය, විශේෂ කාර්ය බළකාය හා බුද්ධි අංශ සමඟ ඒකාබද්ධ වී කටයුතු කළ යුතු ආකාරය මේ වන විට සාකච්ඡා කර ඇති බවත් කී හමුදාපතිවරයා පොලිස් බලතල ලද හොත් මත්කුඩු මෙරටට ආනයනය කරන්නන්, බෙදාහරින්නන්, හා මත්කුඩු භාවිත කරන්නන් ඇතුළු සියලු දෙනාම නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බවද කීය.
ලෝකයේ දරුණුම ගරිල්ලා සංවිධානයක් යුද වශයෙන් පරාජය කළ ශ්‍රී ලංකා යුද හමුදාවට මත් උවදුර දුරු කිරීම එතරම් ගැටලුවක් නොවනු ඇති බවද ඒ මහතා විශ්වාසය පළ කළේය.
දැනට හිස ඔසවමින් පවතින පාතාලය සම්බන්ධයෙන් යම් පියවරක් ගන්නේද යන්න සම්බන්ධයෙන් විමසූ විට ඒ මහතා පැවසුවේ යුද හමුදාවේ ශක්තිය රටම දන්නා බවත්, ඒ අනුව නීත්‍යනුකූලව හමුදාවට ලැබෙන බලතල මත සියලු කටයුතු සිදු කරනු ලබන බවත් ශ්‍රී ලංකා යුද හමුදාව ඉතාම ශක්ති සම්පන්න බවයි.
0 comments :
Post a Comment