සංචාරක සංවර්ධන අධිකාරියත් නාගරික සංවර්ධන අධිකාරියත් අතර අවබෝධතා ගිවිසුමක්.


ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ වේගවත් වර්ධනයක් අපේක්ෂා කරමින් දෙස් විදෙස් ආයෝජකයන් විසින් මෙරට සංචාරක නවාතැන් පහසුකම් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘතිවල අනුමැතියට වැයවන කාලය සහ පිරිවැය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි.

එම ආයතන දෙක අතර පවතින සහයෝඟීතාව තවදුරටත් ඉහළ නංවාගනිමින් මේ අවබෝධතා ගිවිසුමට එළඹ තිබෙන අතර එමඟින් ශ්‍රී ලංකාවේ සංචාරක නවාතැන් ඉදිකිරීමේ අපේක්ෂාවෙන් පසුවන දෙස් විදෙස් සංචාරකයන්ට ඒ ව්‍යාපෘතිවල අනුමැතිය සඳහා වැයවන කාලයත් මුදලත් විශාල වශයෙන් ඉතිරිකර ගැනීමට හැකිවනු ඇත. මේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම කොළඹ දී ඊයේ (15) සිදුකෙරුණු අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කාවන් රත්නායක සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ මහත්වරු ඊට අත්සන් කළහ.

මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ආයෝජකයන්ට පහසු ලෙස අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට එම ආයතන දෙකම එකඟ වී තිබෙන අතර එම අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම වෙනුවෙන් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ආයතනය විසින් තාක්ෂණික සහාය ලබාදෙයි. පියවර දෙකක් යටතේ මෙය ක්‍රියාවට නැංවීමට නියමිත අතර අන්තර්කාලීන විසඳුමක් ලෙස එය ක්‍රියාත්මක කරයි. ඊට අමතරව එම ක්‍රියාවලිය ආයෝජකයන්ගේ පහසුව වෙනුවෙන් පරිගණක ගතකිරීමට ද සැලැසුම්කර තිබේ. මේ අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.යූ රත්නායක මහතා පැවසූවේ සංචාරක නවාතැන් ඉදිකිරීමේ ව්‍යාපෘතිවල අනුමැතිය සඳහා අද වනවිට විශාල කාලයක් සහ පිරිවැයක් දැරීමට සිදුව තිබෙන නමුත් ඉදිරියේ දී නව වැඩපිළිවෙළත් සමඟ දෙස් විදෙස් ආයෝජකයන්ට මෙතෙක් පැවැති දුෂ්කරතා අවම වන බවත්ය. එළඹෙන 2020 පමණ වනවිට මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 45 දක්වා ඉහළ නැංවීම, සංචාරක කර්මාන්තයේ සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා ප්‍රමාණය 15,000,000 දක්වා වර්ධනය කිරීම, උපයන විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 7 දක්වා ඉහළ නැංවීම, හෝටල් කාමර සංඛ්‍යාව 80,000 දක්වා ඉහළ නැංවීම ආදිය අපේක්ෂා කරයි.

අවුරුදු හතරක සංචාරක ක්‍රමෝපායික සැලැසුමක් රජය විසින් ඉදිරිපත්කර තිබෙන අතර එහි පළමු පියවර වශයෙන් මේ නව වැඩපිළිවෙළ හදුන්වයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment