අග්නිදිග විශ්වවිද්‍යාලයේ තිරස්චීන නවක වධයක්?



මඩකලපුව අග්නි දිග විශ්වවිද්‍යාලයේ නවක සිසු සිසුවියන්ට තිරස්චීන ලෙස කෘර වධ හිංසා පමුණුවමින් නවක වධය ලබාදෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි. 

ශිෂ්ටත්වයට නොගැලපෙන ආකාරයට මෙම සිසු සිසුවියන් කෘර ලෙස වධ හිංසාවට පත් කිරීමේ සිදුවීම් රැසක් වාර්තා වන බව එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්  පෙන්වා දෙයි.

උසස් අධ්‍යාපනය සඳහා සිසු සිසුවියන්ට ඇති අයිතිය ආරක්ෂා කිරීම  බලධාරීන්ගේ වගකීමක් වන අතර මේ ආකාරයට නවක සිසු සිසුවියන් නවක වධයට ලක් කිරීම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ද ඔහු  පෙන්වා දුන්නේය. 

එමෙන්ම මෙය අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ දඩුවම්  ලැබිය යුතු වරදක්  වන බවත් නවක වදයට ලක්වන සිසු සිසුවියන්ගේ ශරීරයේ බාහිර තුවාල පමණක් නොව අභ්‍යන්තර තුවාලද සිදුව ඇති බව වෛද්‍යවරුන් විසින් තහවුරු කොට ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි.

මෙම විශ්වවිද්‍යාලයේ කාන්තා හා පිරිමි ළමුන් දැඩි වධ බන්ධනයන්ට සහ කෘර අමානුෂික වධ හිංසා වලට ලක්වීම නිසා  දැඩි මානසික පීඩාවන්ට පත්ව ඇති අතර ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලටද එය ප්‍රබල බාධාවක් වී ඇති බව තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේය. මෙම තත්ත්වය මාස ගණනක් පුරා පවතින අඛණ්ඩව පවතින නමුත් කිසිදු පාර්ශවක් මෙම තත්වය වැළැක්වීමට සාධනීය මැදිහත්වීමක් සිදු කොට නැති බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පෙන්වා දෙයි.

මඩකලපුව විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් මුහුණ දෙන මෙම කෘර වධ හිංසා  වැළැක්වීම සඳහා සියු පාර්ශවයන් ඒකාබද්ධව කටයුතු කළ යුතු අතර උසස් අධ්‍යාපන අමාත්‍යංශය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, අග්නි දිග විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් නොපමාව මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කර සිටියි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment