හදිසි විදුලිය මිලදී ගන්න 2017 දී පෞද්ගලික බලාගාර 3කට රු. මිලියන 23,568ක්.



පෞද්ගලික විදුලි බලාගාරවලින් හදිසි විදුලි මිලදීගැනීම් හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය 2017 වසරේදී පෞද්ගලික බලාගාර තුනකට රුපියල් මිලියන 23,568ක් ගෙවා ඇතැයි අනාවරණය වී තිබේ.

විගණකාධිපති දෙපාර්තමේන්තුව ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් සිදුකළ නවතම විගණන විමසුමක් මගින් මේ බව සඳහන් කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය ඉදිකළ යුතු බලාගාර නියමිත කාලසීමාවේදී ඉදිනොකර ඉදිකිරීම මගහැරීම මත මෙවැනි විශාල මුදලක් ගෙවීමට සිදු වී ඇති බවද එහි සඳහන් කර තිබේ. 

ඒස් ඇඹිලිපිටිය, ඒස් මාතර, ඒ ඇග්‍රෝ යන පෞද්ගලික විදුලි බලාගාරවලින් මෙම විදුලිය මිලදීගෙන ඇති අතර, 2017 වසරේදී රුපියල් මිලියන 23,568ක් ගෙවා ඇත්තේද මෙම බලාගාර වෙතයි.
ශ්‍රී ලංකාව තුළ අවශ්‍ය විදුලිය ප්‍රමාණයට වඩා අතිරික්ත විදුලිය තිබියදීත් ඒ පිළිබඳ නිවැරදි ගණනයක් සිදු නොකර මෙලෙස පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදීගෙන ඇති බවද විගණන විමසුමෙහි සඳහන් කර තිබේ.

 මෙම  පෞද්ගලික විදුලි බලාගාරවල ප්‍රාග්ධන වියදම් ගෙවීම් අවසන් කර තිබියදීත් නැවත වරක් ඒස් ඇඹිලිපිටිය බලාගාරය සඳහා රුපියල් මිලියන 1495ක් ගෙවා ඇති බවද, ඒස් මාතර බලාගාරය සඳහා රුපියල් මිලියන 313ක් සහ ඒ ඇග්‍රෝ බලාගාරය සඳහා රුපියල් මිලියන 1204ක් ගෙවා ඇති බවද මෙම විගණන විමසුම හරහා අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකාව තුළ විදුලි ජනනයේදී 2015 වසරේදී මෙගාවොට් 1564ක අතිරේක ධාරිතාවක් පැවැති අතර, 2016 වර්ෂයේදී මෙගාවොට් 1565ක අතිරේක ධාරිතාවක් තිබී ඇති බවද විගණන විමසුමෙහි සඳහන් කර ඇත. 

එමෙන්ම 2017 වසරේදී මෙගා වොට් 1564ක අතිරේක ධාරිතාවක් පැවැති අතර මේ වසරේදී මෙගාවොට් 1800ක අතිරේක ධාරිතාවක් පවතිනු ඇති බවටද ගණන් බලා තිබේ.

මේ ආකාරයට අතිරේක ධාරිතා පැවැතියද ලංකා විදුලිබල මණ්ඩලය නිසි විමසීමකින් තොරව සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක නොකර පෞද්ගලික අංශයෙන් වැඩි මිලට විදුලිය ගැනීමට යොමුවීම සදාචාරාත්මක නොවන බවද විගණන විමසුම තුළ වැඩිදුරටත් සඳහන් වේ. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment