මීතොටමුල්ල කුණු කන්ද ගැන ඇමති චම්පිකගෙන් ජනපතිට ඉල්ලීමක්!




මීතොටමුල්ල කුණු කන්දට අදාල ජනාධිපති කොමිසමේ තීන්දු තීරණ වහාම කි‍්‍රයාත්මක කරන ලෙස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා මෙම ඉල්ලයි.

ඒ මහතා මෙම ඉල්ලීම සිදු කරනු ලැබූවේ,නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ සැලසුම් හා මුල්‍ය දායකත්වය යටතේ ඉදිකරන ලද ‘‘Lake Crest Residencies’’ මහල් නිවාස ව්‍යාපෘතිය අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර්, කොළොන්නාව සංවර්ධන කමිටු සම සභාපති ප‍්‍රසන්න සෝලංගආරච්චි යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මීතොටමුල්ල කසළ කන්ද පිහිටි අක්කර 21 ක අපේ ඒ නාගරික සංවර්ධන අධිකාරියට අයිති ඉඩම විනාශ කිරීම සම්බන්ධයෙන් තවමත් කොළඹ නගර සභාව, සත 5 ක වන්දියක් අපට ලබාදීලා නැහැ. මා ඔබතුමාගෙන් විශේෂයෙන්ම අද ඉල්ලා සිටිනවා, ඔබතුමා ජනාධිපති කොමිසමක් පත් කලා මේ මීතොටමුල්ල ඛේදවාචකය ගැන සොයන්න, එහි වරද කරුවන් කවුද කියල සොයන්න. ඒ උගත් විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර මහත්මයා ඒ ඛේදවාචකයට වගකිව යුත්තන් නම් කර තිබෙනවා. දැන් වසර එකහමාරක් ගතවෙලා තිබෙනවා, ඒත් අද මේ වනකන් ඒ අය සම්බන්ධයෙන් කිසිම පියවරක් අරගෙන නැහැ. මේක අපේ හිත පාරණ ඛේදජනක සිද්ධියක් මේ රටේ සිදු වුණු. ඒ නිසා මේ සම්බන්ධයෙන් වහ වහාම පියවර අරගෙන ඒ මිය ගිය ජනතාවට යුක්තිය ඉෂ්ඨ කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

මේ රටේ නොයෙක් තැන්වල ආපදා සිදු වුණා. බණ්ඩාරවෙල, කෑගල්ලේ, මාවනැල්ලේ, මේ හැමතැනකම නාය යෑම් ගංවතුර ආදියෙන් ආපදා සිදුවුණා. නමුත් අද වෙනකන් ඒ අයට නිවාස ලබාදෙන්න බැරි උනා. මීතොටමුල්ලේ අපිට සතියක් ඇතුලත ප‍්‍රශ්නවලට මුහුණ දුන් සියළු දෙනාටම නිවාස ලබාදුන්නා නාගරික සංවර්ධන අධිකාරියෙන්. ඒකට මුදල් අයකළා නමුත් නිවාස ලබාදුන්නා. ඒ සඳහා අපි ජනාධිපතිතුමාට, අගමැතිතුමාට ස්තූතිවන්ත වෙනවා ඒ ශක්තිමත් පියවර ගැනීම ගැන.

ඒ වගේම අද මීතොටමුල්ලට කුණු ගෙනත් දාලා ඉඩම විනාශ කළ අය පැත්ත පළාතක නැති තත්වය තුළ අපි ඒ ඉඩමේ වගකීම ශ‍්‍රී ලංකා යුධ හමුදාවත් සමග එකතු වෙලා කුණු කන්ද ස්ථාවර කළා. මෙහි පැමිණි ජපන් විශේෂඥයෝ පුදුම උනා මාසයක් ඇතුළත ඒ වගේ විශාල ව්‍යසනයකට ලක් වෙච්ච ස්ථානයක් අපේ ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව විසින් පිළිසකර කිරීම ගැන. අද අපේ පළවෙනි පියවර සාර්ථකයි. ඒ අනුව ඉදිරිකාලයේදී අපි බලාපොරාත්තු වෙනවා නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන දශ ලක්ෂ 1500 ක් වැය කරලා මේ කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රදේශයට නාගරික උද්‍යානයක් ඒ මීතොටමුල්ල කුණු කන්ද ආශ‍්‍රිතව තිබෙන ඉඩමේ ඉදිකරලා දෙන්න අපි ඉදිරියේදී කටයුතු කරන බවත් මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කළ යුතුයි.

ඒ නිසා මේ සෝලංගආරච්චි මහත්මයා දන්නවා මේ කුණු කන්දෙන් කවුද හම්බකරගත්තේ, කොහොමද ඒවයින් මාලිඟා හදා ගත්තේ, විදේශ රටවලට පවා ධනය අරං ගියේ කොහොමද කියලා. ඒ ජනතාව අතරමං උනාට පස්සේ ඒ කවුරුත් අද නැහැ. ඒ නිසා ඒ වගකීමත් නාගරික සංවර්ධන අධිකාරිය අරගෙන අපි ඒ ප‍්‍රදේශයත්, මේ අපේ කොලොන්නාව ජනතාවට ආචාරයක් වශයෙන් ඒ වින්ද දුක් වේදනා යුගයට කරන කෘතවේදීත්වයක් වශයෙන් නාගරික උද්‍යානයක් බවට පරිවර්ථනය කරන්න අපි කටයුතු කරනවා යැයි ද පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment