නවීන්ගෙ උත්සවේදී එජාප මන්ත්‍රිනීට බත් පාර්සල් පහරක්



අරණායක උස්සාපිටිය අරුණශ‍්‍රී රඟහලේ පැවැති උත්සවයකදී බත් පාර්සල් ප‍්‍රශ්නයක් මුල් කරගෙන අරණායක ප‍්‍රාදේශීය සභාවේ එජාප මන්ත‍්‍රීවරයකු හා මන්ත‍්‍රීවරියක අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් අදාළ මන්ත‍්‍රීවරයා විසින් මන්ත‍්‍රීවරියට බත් පාර්සලයකින් පහරදීමේ සිද්ධියක් අරණායක පොලිසියට වාර්තා වී ඇත.

මෙම සිද්ධියේදී බත් පාර්සල් ප‍්‍රහාරයට ලක්වූූ බව කියන සුරංගී දීපිකා සිරිවර්ධන නමැති මන්ත‍්‍රීවරිය අතක ඇති වූ ආබාධයකට ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා අරණායක දිසා රෝහලට ඇතුළත් කර ඇති බව ද සඳහන්ය.

වැවිලි කර්මාන්ත ඇමැති නවින් දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරණායක කොට්ඨාසයේ කුඩා තේ වතු හිමියන් වෙත කෘෂි උපකරණ හා වවුචර් බෙදා දීම නිමිතිකොට ගෙන පැවති උත්සව සභාවෙන් අනතුරුව මෙම සිද්ධිය සිදුවී ඇති බව ද පැවසෙයි.

අරණායක කොට්ඨාසයේ කුඩා තේ වතු හිමියන් 180 දෙනකුගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවයේදී කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ කෑගල්ල ප‍්‍රාදේශීය කාර්යාලය මගින් ලබා දුන් බත් පාර්සල් ඒ ඒ මන්ත‍්‍රි කලාපවලින් සහභාගී වූ අයට බෙදා හැරීමේදී මෙම ප‍්‍රශ්නය පැන නැගී ඇත. බත් පාර්සල් ප‍්‍රහාරයට ලක්වූ මන්ත‍්‍රීවරිය තමන්ට අයත් කලාප තුනක 30 දෙනකු වෙනුවෙන් වෙන් කරගෙන තිබූ බත් පාර්සල් පහරදීම සිදුකළ මන්ත‍්‍රිවරයා විසින් බලහත්කාරයෙන් ලබා ගැනීමට උත්සහ කළ අවස්ථාවේ මෙම ගැටුම ඇති වී ඇති බව ද සඳහන්ය.

අරණායක පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment