නාමල්ගේ සිහිනයට තිත : 'තවත් ජනබල මෙහෙයුම් ආයෙත් එපා' - ඒකාබද්ධ නායකයින් කියති.



නගරයෙන් නගරයට ජනබල මෙහෙයුම් පැවැත්විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් විසින් ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශකර තිබුණත්, සැප්තැම්බර් 05 වැනිදා පැවති ජනබල මෙහෙයුමෙන් පාක්ෂිකයන් අධෛර්යට පත්වීම නිසා තවත් එවැනි විරෝධතා සංවිධානය නොකළ යුතු බවට සාකච්ඡා වූ බව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෙක් උපුටා දක්වමින් 'අනිද්දා' පුවත්පත වාර්තා කර තිබේ.

ඒ සම්බන්ධයෙන් එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.

''ජනබල මෙහෙයුමේ අත්දැකීමෙන් පසුව ඉදිරි විරෝධතාවන්ට පාක්ෂිකයන් නොපැමිණීමට ඉඩ ඇතැයි එහි දී සාකච්ඡාවට ලක්වී ඇත.

ජනබල මෙහෙයුම සංවිධානය කිරීම නාමල් රාජපක්ෂ ඇතුළු තරුණයන්ට බාර දී තිබුණ බවත්, නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසට ඒකාබද්ධ විපක්ෂයේ පැරණි නායකයන් විසින් විවිධාකාර උපදෙස් ලබා දී තිබුණු බවත් එම නායකයා පෙන්වා දුන්නේය.

එහෙත් එසේ උපදෙස් ලබා දුන් ආකාරයට ජනබල මෙහෙයුමට පැමිණි පක්ෂිකයන් මෙහෙයවා නොමැති බව සාකච්ඡා වී ඇත.

නිසි මගපෙන්වීමක් නැතිව :

කොළඹට පැමිණි පාක්ෂිකයන් කොළඹ නගරයේ දේශපාලන රැස්වීමක් හෝ පොලිස් මාර්ග බාධක සමග ගැටීමක් බලාපොරොත්තු වී තිබුණු නමුත් ඒ දෙකටම මුහුණදෙන්නට සිදු නොවීම නිසා නිසි මගපෙන්වීමක් නැතිව පාක්ෂිකයන් අපහසුතාවයට පත්ව තිබුණු බවද සාකච්ඡා වී ඇත.

පාක්ෂිකයන් තුළ විශාල ආණ්ඩු විරෝදයක් තිබුණු බවත්, ඒ නිසා ජනබල මෙහෙයුමට ජනතාව උනන්දුවෙන් පැමිණි බවත් පැවසූ එම නායකයා, ජනබල මෙහෙයුමෙන් පසුව ඒ උනන්දුව හීන වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ තක්සේරුව වී තිබෙන බව කීය.

කෙසේ වෙතත් ජනබල මෙහෙයුමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් තවම නිල වශයෙන් සාකච්ඡා කිරීම සඳහා තවම හමුවී නැති බවත්, සැප්තැම්බර් 18 වැනිදා පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කරන බවත් ඔහු කීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment