මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙනයාමේ සිද්ධියට : සරත් ෆොන්සේකාව CIDයට කැඳවයි.


මාධ්‍යවේදී කීත් නොයාර්  පැහැරගෙනයාමට අදාළව  විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකාව අද  (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. 

ඒ අනුව සරත් ෆොන්සේකා අමාත්‍යවරයා අද  දහවල් 12ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි. 

කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අමාත්‍ය  සරත් ෆොන්සේකා වෙතින්  ප්‍රකාශ සටහන් කර ගන්නේ දෙවැනි වතාවට වන අතර  පැහැරගැනීම සිදුවූ අවධියේ යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළේද   සරත් ෆොන්සේකා මහතාය. මෙම විමර්ශනය පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ , කතානායක කරූ ජයසුරිය මහතා ඇතුළු විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අලුතින් ලබාගත් ප්‍රකාශ අනුව පැහැදිලි  කර ගැනීම් සඳහා සරත් ෆොන්සේකා මහතාගෙන් හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගත යුතු බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබිණි. ඒ අනුව සරත් ෆොන්සේකා අමාත්‍යවරයා  කැඳවා ඇති  බවත්, ඉදිරියේ දී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවත් රහස් පොලිසියේ ආරංචි මාර්ග කියයි.

2018 මැයි මාසය දක්වා කළ පරීක්ෂණ අනුව කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධියට ෆොන්සේකා අමාත්‍යවරයාගේ  සම්බන්ධයක් නොපෙනෙන බවත්, ඉදිරියේද විමර්ශන පවත්වන බවත් පසුගිය මැයි මාසයේ දී රහස් පොලිසිය අධිකරණයට දැනුම්දී තිබිණ. මෙම සිද්ධියට සැකපිට යුද හමුදාවේ මරදාන ට්‍රිපෝලි කඳවුරේ පිහිටවා තිබූ යුද හමුදා බුද්ධි අනු ඛණ්ඩයේ පස් දෙනෙක් ද යුද හමුදාවේ බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා ද ඇප පිට සිටිති. මාස පහක් තිස්සේ රිමාන්ඩ් බාරයේ සිටි අමල් කරුණාසේකර මහතා ඇප පිට මුදා හැරුණේ පසුගිය 10 වැනි දා ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment