මහින්ද පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමේ අර්බුදයක.
ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතාව අගමැති ලෙස නම් කරනු ලැබුවද ඊට පාර්ලිමේන්තුවේ අනුමැතියට අවශ්‍ය බහුතර මන්ත්‍රීවරුන්ගේ එකඟත්වය ලබාගැනීමට මෙතෙක් නොහැකි විමෙන් ඒකාබද්ධ විපක්ෂය බරපතල අර්බුදයටකට මුහුණ දී සිටින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තු සභාවාරය කල් දැමීමට සිදුව ඇත්තෙත් යෝජිත කැබිනට් මණ්ඩලය පත්කිරීම පමාවී ඇත්තෙත් ඒ අනුව බව පැවසේ.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති කළහොත් එජාපයේ ප්‍රබලයින් කිහිප දෙනෙකුගේ හා මුස්ලිම් දේශපාලන පක්ෂවල සහය ඇතිව 113ට වැඩි මන්ත්‍රී සහයක් ලබා දෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂයේ) නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට පොරොන්දු වී තිබුන ද මෙතෙක් ඒ සඳහා එකඟ කරවා ගැනීමට හැකිව ඇත්තේ එජාපයේ එක මන්ත්‍රීවරයෙක් බවත් ඒ අනුව යෝජිත කැබිනට් තනතුරු සම්බන්ධයෙන් ද මෙතෙක් එකඟතාවයකට ඒමට නොහැකිව ඇති බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
එස්.බී. පොරොන්දුව !
වාර්තාවන පරිදි එජාප මන්ත්‍රීන් 16 දෙනෙකුගේ සහය ලබාදෙන බවට බැසිල් රාජපක්ෂ මහතාට පොරොන්දු වී ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එස්.බී. දිසානායක මන්ත්‍රී වරයාය. එම මන්ත්‍රීවරුන් වහාම කැඳවන ලෙස බැසිල් රාජපක්ෂ මහතා, ඊයේ දිනයේ ද දිසානායක මහතා දැනුම් දී තිබුන ද ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැත.
''අලුත් ආණ්ඩුවේ බහුතරය සූදානම්.. සැකයක් හිතන්න එපා''.- බැසිල්
කෙසේවුවද බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට දැනුම්දී ඇත්තේ, පාර්ලිමේන්තුව තුල පිහිටවනු ලබන නව ආණ්ඩුවක බහුතරය ගැන සැකක් බියක් තබා නොගන්නා ලෙසයි.
මීලග පාර්ලිමේන්තුව රැස්වන ඕනෑම දිනයක මහින්ද රාජපක්‍ෂ මහතාගේ නව ආණ්ඩුවට අවශ්‍ය බහුතරය සූදානම් බවට ඒ මහතා සදහන් කල බව විමල් විරවංශ මහතා විසින් මෙහෙයවනු ලබන 'ලංකා සී නිව්ස්' වෙබ් අඩවිය වාර්තා කරයි.
පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා කතානායකවරයා ගෙන් ඉල්ලීමක් කර තිබුනද පාර්ලිමේන්තුව කල්දැමීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

0 comments :
Post a Comment