නොගැලපෙන විවාහයක් අවසන් කළ බව මෛත්‍රී කියයි : මෛත්‍රී එක්ක වැඩ කරන්න බාධාවක් නැති බව මහින්ද කියයි.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස පත්කිරීමට හේතු වූ කාරණා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට අද (27 වැනිදා) පස්වරුවේ පැහැදිළි කළේය.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේත් සහභාගිත්වයෙන් හා අද රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. තමා රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවීමෙන් කරගත්තේ නොගැලපෙන විවාහයක් වැනි දෙයක් බවත් වසරක් යද්දී තමාට එය හොඳින්ම අවබෝධ වූ බවත් ජනාධිපති සිරිසේන මහතා එහිදී සඳහන් කළේය.
සංස්කෘතික වශයෙන් තිබූ නොගැලපීම් මෙන්ම බැඳුම්කර ගණුදෙනුව, ආර්ථිකය ගොඩනැඟීමට නොහැකිවීම ඇතුළු කාරණා රැසක් නව ආණ්ඩුවක් පිහිටුවීමට බලපෑ බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත. තමා හෙට දිනයේ (28) ජාතිය අමතමින් මෙම කරුණු රටට හෙළිකරන බවත් නව අමාත්‍ය මණ්ඩලය අනිද්දා දිවුරුම් දෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට ආණ්ඩුවේ සිටි සන්ධාන මන්ත්‍රීවරුද අගමැතිවරයා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුද එජාප මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතාද සහභාගි වූහ.
මේ අතර තමාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව කටයුතු කිරීමට කිසිදු බාධාවක් නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (27 දා) රාත්‍රියේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
තමාත් මෛත්‍රීපාල සිරිසේන මහතාත් එක්ව කටයුතු කර ඇති බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා අද සිටින්නේ තමා එදා සිටි පුටුවේ බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර ඇත.
එබැවින් ජනාධිපතිවරයා සමග එක්ව රට ගොඩනැඟීමේ වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යන බවද අගමැති රාජපක්ෂ මහතා පවසා තිබේ.
0 comments :
Post a Comment