සිරිසේනට විරුද්ධව ගාල්ල ශ්‍රීලනිප නාගරික මන්ත්‍රීවරු මනුෂ සමඟ හිටගනී.


ප්‍රජාතන්ත්‍රවාදය හා යුක්තිය වෙනුවෙන් තමන් ගත් දේශපාලන තීන්දුව සමග ගාල්ල මහ නරග සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු හා මැතිවරණ අපේක්ෂකයින් එක්ව සිටින බවත් ඉදිරි මහ මැතිවරණයකට පුළුල් දේශපාලන සන්ධානයකින් ඉදිරිපත් වන බවත් පසුගියදා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසීය.

මනුෂ නානායක්කාර මහතා ගත් දේශපාලන තීන්දුව සමග ගාල්ල නරග සභාවේ නාගරික මන්ත්‍රීවරු එක්වූ අතර ඔවුන් සමග ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේය.

එහිදී නාගරික මන්ත්‍රීවරු හා අපේක්ෂකයින් පහලොස් දෙනෙක් මනුෂ නානායක්කාර මහතාට සහාය දැක්වීමට ඉදිරිපත් විය.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.

''ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් එළියට බැස්සා''

''අද වන විට අමාත්‍යංශවල වැඩ කටයුතු සිදුවෙන්නේ නෑ. නීත්‍යානුකූල නොවන රජයක් ක්‍රියාත්මක වෙන්නේ. මේ නිසා තමයි අපි නීති විරෝධී ආණ්ඩුවේ ඉන්නේ නෑ කියන දේශපාලන තීන්දුව ගත්තේ.

අපි කණ්ඩායමක් ලෙස තමයි මේ තීන්දු ගන්නේ. අද ගාල්ල නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු, මැතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයින් එකා සේ තීන්දු අරගෙන තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළ ගැසීමටයි.

අපි ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් එළියට බැහැලා ඉන්නේ. මේ කෙරෙන රස්තියාදු, අකෘතඥ වැඩපිළිවෙල අපි එකහෙලා ප්‍රතික්ෂේප කරනවා.

කතානායක වැඩ කලේ නීතියට අනුකුලවයි :

පාර්ලිමේන්තුවේ පසුගිය දිනවල සිදුවූ දේවල් බලන්න. කතානායකතුමාට කතානායකතුමාගේ පුටුවේ වාඩිවෙන්න දුන්නා නම් ඡන්දයක් ගන්න ඉඩ ලබාදුන්නා නම් තමන්ගේ බහුතරය පෙන්වන්න තිබුණා. හැබැයි තමන්ට පාර්ලිමේන්තුවේ එකසිය දහතුනක් නැති විට පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරගෙන යන්න අවස්ථාවක් දෙන්නේ නෑ.

ඒ අවස්ථාවේදී කතානායකවරයා ස්ථාවර නියෝග අනුව කටයුතු කරලා තියෙනවා. කතානායවරයා තමන්ගේ පුටුවේ වාඩි නොවුනට වෙනත් ආසනයක වාඩිවෙලා, සෙංකෝලය පාර්ලිමේන්තුවේ තිබියදී ඡන්දයක් ලබාගත්තා. මේවා නීත්‍යානුකූලව වැඩ කරලා තියෙනවා.

''පුද්ගලික වෛරය පිරිමහ ගන්න''

තමන්ට අවශ්‍ය දේ කරගන්න බැරිවුනාම පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කඩාකප්පල් කිරීමට සමහරු කටයුතු කරනවා. සල්ලිවලට මන්ත්‍රීවරු බිලී බාගන්න බැරිවුනාම පාර්ලිමේන්තුවේ ගනිපු ක්‍රියාදාමය වැරදියි කියලා කියනවා. මේ ක්‍රියාදාමය හරිද වැරදිද කියලා අපි කියලා දෙන්න ඕන නෑ.

රටේ ජනතාව පාර්ලිමේන්තුවේ වෙන්නේ මොකක්ද කියලා රූපවාහිනියෙන් දකිනවා. මාධ්‍ය හරහා පාර්ලිමේන්තුවේ අමනෝඥ රැල හැසිරෙන ආකාරය දකිනවා.

මේවාට වගකියන්න ඕන තමන්ගේ පුද්ගලික වෛරවලට, පුද්ගලික තරහට අමනෝඥ තීරණ ගත් අයයි. මේ රටට සිදුවී ඇති වින්නැහියට මේ අය වගකියන්න ඕන.

මේ වෙලාවේ එකසිය දහතුන තියෙන්නේ කාටද, ඒ අයට ආණ්ඩුව කරගෙන යන්න අවස්ථාව දෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා. ඊට පස්සේ අපි පාර්ලිමේන්තු මැතිවරණයකට යමු. අපි මැතිවරණවලට බය නෑ.

අද රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන අයට ඡන්දයක් දෙන්න ඕන. ඇතැම් අයගේ අවශ්‍යතාවය අනුව නෙමෙයි ඡන්දයක් දෙන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදීව අපි මැතිවරණයකට යමු. මහ මැතිවරණයකට අපි වෙනදාට වඩා පුලුල් ආකාරයට මැතිවරණයකට යනවා. රටම බලා සිටින ගමනකට යාමට අපි සූදානම්.

ප්‍රජාතන්ත්‍රවාදයට ජයග්‍රාහී මාවතක්:

මම එළියට ආවේ ඇමැතිධූර අතහැරලායි. අපි එළියට ආවේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් දිනාදීමටයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරදීමටයි. ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරවීමට මගෙන් පස්සේ තවත් මන්ත්‍රීවරු දෙන්නෙක් එකතුවුනා. තවත් මන්ත්‍රීවරු කණ්ඩායමක් අපි සමග සාකච්ඡා කරමින් සිටිනවා.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉදිරියේදී ගොඩනැගෙන පුළුල් සන්ධානයක් යටතේ විශාල පිරිසක් අපි සමග එක්වීමට නියමිතව සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ජයග්‍රාහී මාවතක් ඉදිරියේදී දකින්ට ලැබේවි.

ලිහා දමා සිටින දඩයම් සුනඛයින් බැද තැබීම නායකයින්ගේ වැඩක්. ඒ අයට නිදැල්ලේ ඉන්න ඉඩ හරිනවා නම් ඒ වගකීම නායකයින් භාරගත යුතුයි.

අපිට නිදහසේ පාර්ලිමේන්තුව රැස්වීමට ඉඩ දෙනවා නම් ඔය කියන ක්‍රියාදාමයන් අනුව නැවත වරක් විශ්වාසභංග යෝජනාවක් ගේන්න පුලුවන්. හරියට පාර්ලිමේන්තුව ඇතුලේ හැසිරෙන්නේ නැති අය හරියට හසුරවාගැනීමට නායකයින්ගේ වගකීමක්.

ජනාධිපතිවරයා තමයි අගමැතිවරයා පත් කරන්නේ. හැබැයි පාර්ලිමේන්තුවේ බහුතරය ඇතැයි හැගෙන පුද්ගලයා තමයි අගමැතිවරයා ලෙස පත් කළ යුතු වන්නේ. හැගීම් දැනීම් ඇති අයෙක්ට වෙන විදියකට ඒක දැනෙන්න බෑනේ.

දැන් පත් කර තිබෙන අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතරයක් නැහැ කියලා අපි පෙන්නලා දීලා තියෙනවා. එහෙම නම් මේ ආණ්ඩුවෙන් කරන හැම දේම නීති විරෝධීයි. දැන් ඉන්න ඇමැතිවරු දෙන නියෝග වැරදියි. මේ නියෝග අනුව කටයුතු කළොත් රාජ්‍ය නිලධාරීන්ට නීතිමය පියවර ගැනීමට සිදුවෙනවා.''

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment