රනිල් අගමැති ලෙස දිවුරුම් දීමෙන් : "ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය" අනුමත වෙනවාද?


රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය ලබාගෙන යළි දිවුරුම්දීම හරහා ජනාධිපති සිරිසේන ඔක්තෝබර් 26 වනදා රනිල් ඉවත්කර මහින්ද අගමැති කල ආකාරයට ව්‍යවස්ථානුකූල බව තහවුරු වන බවට පළවන ප්‍රචාරය නිවැරදි නොවන බව දේශපාලන විශ්ලේෂකයන් අවධාරණය කරයි.

ඔවුන් සඳහන් කරන්නේ දේශපාලන කුමන්ත්‍රණයක් දියත්වීම සහ ඒ ආශ්‍රිත සිදුවීම් ජාලය කොටසින් කොටස ගෙන විග්‍රහ කරගන්නට යාමේදී මෙවැනි වැරදි අදහස් වල තාර්කික ලක්ෂණ පෙන්වන නමුත් එය කිසිසේත් තාර්කිකද නොවන බවයි.

ඒ අනුව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඔක්තෝබර් 26 දින දියත්වූ දේශපාලන කුමන්ත්‍රණය සමස්ථයක් ලෙස ගෙන විග්‍රහ කල යුතු බවය.

ඒ පිළිබඳ වන විග්‍රහය මෙසේය.

සිරිසේනගේ කුමන්ත්‍රණය :

"ඔක්තෝබර් 26 ජනාධිපති සිරිසේන ව්‍යවස්ථා විරෝධී ආකාරයට නිල අගමැති ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ ලිපියක් හරහා ධුරයෙන් පහකළ බව දන්වා නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත්කරයි. නමුත් එය ව්‍යවස්ථානුකුල නැත. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (1) ප්‍රකාරව ජනාධිපති කටයුතු කර නොමැති නිසාය. එපමණක් නොව තමන් සිදුකරන්නට යන කාර්ය සම්බන්ධව ඊට ඇති ව්‍යවස්ථානුකුල නිවැරදි භාවය හෝ අගවිනිසුරුවරයා අමතා අර්ථ කථනය කරගන්නට ජනාධිපති කටයුතු කර ඇති බවක් පෙනෙන්නටද නැත.

ඒ පසුබිමේ නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත්කිරීම ව්‍යවස්ථා විරෝධී බැවින් එම පත්වීමට විරෝධය දැක්වීමක් ලෙස රනිල් වික්‍රමසිංහ අගමැති නිල නිවස වූ අරලියගහ මන්දිරයේ රැදීසිටි අතර පළමු දින වල නිල අග්‍රාමාත්‍ය ලෙස මාධ්‍ය නිවේදනද නිකුත් කරනු ලැබිණ. ලංකාවේ අගමැතිවරුන් දෙදෙනෙකු සිටින බවට හාස්‍ය ජනක කතාව අහන්නට සිදුවූයේද ඒ අනුවය.

නමුත් පසුව ජනාධිපති සිරිසේන විසින් එතෙක් අගමැති ලේකම් ලෙස සිටි සමන් ඒකනායක එම ධුරයෙන් ඉවත්කළ අතර ඒ වෙනුවට එස්. අමරසේකර පත්කරනු ලැබිණ. ඒ අනුව කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති ලේකම් වූ අමරසේකර කටයුතු කලේ මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පිළිගනිමින්ය. එසේම අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයද අත්පත් කරගන්න ජනාධිපති සිරිසේන සහ කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද කටයුතු කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ නැගීසිටීම !

එතෙක් මේ ප්‍රශ්නය අධිකරණය හමුවට ගොස් තිබුණේ නැත. ඒ ගැන විමසමින් කුමන්ත්‍රණ ආණ්ඩුවේ උදවිය කෝචෝක් දමන විටත් එක්සත් ජාතික පෙරමුණ පාර්ශවයේ පැහැදිළි කිරීම වූයේ අගමැති පත්කිරීම මෙන්ම අමාත්‍ය මණ්ඩලය වගකියනුයේ පාර්ලිමේන්තුවට බැවින් ඒ ප්‍රශ්නය පළමුව පාර්ලිමේන්තුවේ විසඳා ගන්නට කටයුතු කරන බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවද සිදුවිය යුතු වුයේ ඒ දෙයය.

සිරිසේන - මහින්ද කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවා එක්සත් ජාතික පෙරමුණට සහය දක්වන මන්ත්‍රීවරුන් පිල් මාරු කරවා ගන්නට කෝටි 50 දක්වා අල්ලස් ලෙස ලංසු ඉදිරිපත් කලේද ඒ නිසාය. විජේදාස රාජපක්ෂ, දුනේෂ් ගන්කන්ද ඇතුළු පිරිසක් කුමන්ත්‍රණයට සහයදී අමාත්‍යධුර භාරගත්තේද ඒ අනුවය.

කෙසේ වුවත් පාර්ලිමේන්තුවේ බහුතරය ලබන්නට කුමන්ත්‍රණ ආණ්ඩුව සමත්වූයේ නැත. ඒ නිසාම පාර්ලිමේන්තුව විසුරවීමේ ගැසට් නිවේදනයක් නොවැම්බර් 10 සිට බලපැවැත්වෙන ලෙස නිකුත් කරන්නට සිරිසේන ජනාධිපති කටයුතු කළේය. එපමණක් නොව මහ මැතිවරණයක් කැඳවීමට ද එම ගැසට් නිවේදනයේ නියෝග කර තිබිණ. ඒ නම් හිතුමතේ අගමැති මාරු කළා මෙන් නොව ඉතාම පැහැදිලි ව්‍යවස්ථා උල්ලංඝනයක් වූ අතර පැහැදිළි නඩු නිමිත්තක්ද එතැන තිබිණ.

පළමුව එම නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී ගැසට් නිවේදනයට විරෝධය දැක්වූ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කළ අතර ඒ වැළක්වීම වෙනුවෙන් කුමන්ත්‍රණයට සහය දැක්වූ පිරිස් නින්දිත උත්සාහයක නිරතවූ බවද සිහිපත් කළයුතුව ඇත.

මේ අතර නොවැම්බර් 14 සහ 16 විශ්වාසභංග යෝජනා දෙකක් මහින්ද රාජපක්ෂ නම් කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැතිට එරෙහිව සම්මත කරන්නට පාර්ලිමේන්තුව නියෝජනය කල ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වෙනුවෙන් පමණක් වූ එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය ප්‍රමුඛ ඒකාබද්ධ පෙරමුණ කටයුතු කල බවද සිහියට ගැනීම වැදගත්ය.

කතානායකගේ භූමිකාව !

මෙහිදී විධායකය සිය සීමාව ඉක්මවා ව්‍යවස්ථා විරෝධී ආකාරයට ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුව දැක්වූ ප්‍රතිචාරයද තීරණාත්මක විය. එහිදී ජනාධිපතිගේ දැනුම්දීම අනුව පළමුව මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ පාර්ශවය ලබාදුන් අතර ඒ සමඟ ඔහුට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට අදාලව පාර්ලිමේන්තුවේ විශ්වාසය තහවුරු කරගැනීමට අවස්ථාව සැපයීමද මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී සටහනක් වනු ඇත.

ඒ කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවීම ව්‍යවස්ථා විරෝධී බව තහවුරු කිරීමේ පාර්ලිමේන්තු කටයුතු එතැන් පටන් අඛණ්ඩව ඉදිරියට ඇදුණු නිසාය. එහිදී කතානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තු ස්ථාවර නියෝග ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ඉටුකළ භූමිකාව සුවිශේෂී විය.

එසේම මෙහිදී තදින් අවධාරණයට ගත යුතුව ඇති වැදගත් කරුණක් වන්නේ පාර්ලිමේන්තුව අඛණ්ඩව රැස්වීම සහ ඒ තුළ විශ්වාසභංග දෙකක් සම්මතකර කුමන්ත්‍රණ ආණ්ඩුවේ පවා අගමැති ධුරය "හිස්" කිරීමය.

ඒ අනුව තවදුරටත් අගමැති ධුරයක් හෝ අමාත්‍ය මණ්ඩලයක් නොමැති බව පාර්ලිමේන්තුවේ ස්ථාවරය විය.

කුමන්ත්‍රණයට එරෙහි අධිකරණ ක්‍රියාවලිය !

දැන් අධිකරණ ක්‍රියාවලිය දෙස අවධානය යොමු කරමු. එහිදී තීරණාත්මක අවස්ථා 3ක් නිරීක්ෂණය කල හැකිය.

1. ජනාධිපති සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම 13.

එහිදී පළමුව තුන් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එම ගැසට් නිවේදනය අත්හිටවූ අතර පසුව සත් පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතික තීන්දුවක් නිකුත් කළේ ජනාධිපතිගේ ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී බැවින් එම ගැසට් නිවේදනය බලරහිත කරමින්ය.

2, දෙවැනි වැදගත් අධිකරණ ක්‍රියාව වනුයේ කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය මණ්ඩලයේ කටයුතු වාරණය කරන ලෙසට ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 122ක් අභියාචානාධිකරණයේ ගොනුකළ පෙත්සමය. එහිදී අභියාචනාධිකරණය පෙත්සම් විභාගය අවසන් වනතුරු අගමැති මහින්ද හෝ ඔහුගේ අමාත්‍ය මණ්ඩලයට එකී ධුර දැරීමේ වාරණයක් නිකුත් කෙරිණ.

එය ඓතිහාසික තීන්දුවක් වන්නේ පාර්ලිමේන්තුව විසින් ඒ වන විටත් පුරප්පාඩු බව(හිස්) පෙන්වන අග්‍රාමාත්‍ය ධුරය සහ අමාත්‍ය මණ්ඩලය මෙම අභියාචනාධිකරණ නියෝගයෙන් පිළිගෙන තිබීමය.

3. වැදගත් අධිකරණ ක්‍රියාදාමය වන්නේ අභියාචනාධිකරණය ලබාදුන් මෙම වාරණයට එරෙහිව මහින්ද ඇතුළු ඔහුගේ වැඩ තහනමට ලක්වූ අමාත්‍යවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සමය. එකී පෙත්සම විභාගයට ගනිමින් ඒ සඳහා දින නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළත් අභියාචාධිකරණය නිකුත් කළ ආඥාව ඉවත් කළේ නැත.

ඒ පසුබිමේ මහින්ද රාජපක්ෂ වැඩ තහනමකට ලක්වූ ඒ බව වසං කරගන්න උපක්‍රමයක් ලෙස ඉල්ලා අස්වූ නමුත් පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය තුළ "හිස්" බව තහවුරු වූ අගමැති පුරප්පාඩුව කොහොමත් තිබිණ. එසේම පාර්ලිමේන්තුව තුළ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත්කිරීමට සහය දෙන යෝජනාවක් වැඩි ජන්ද 117 කින් සම්මත කර පෙන්වා තිබිණ.

අවසානයේ පාර්ලිමේන්තුවේ 225ම කීවත් රනිල්ට අගමැතිකම දෙන්නේ නෑ කියූ සිරිසේනට දණගසන්න වූයේ ඒ නිසාය. ඒ හමුවේ රනිල් අගමැති ලෙස දිවුරුම්දීම යනු ඔක්තෝබර් 26 සිරිසේනගේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව අනුමත කිරීමක් නොව පාර්ලිමේන්තුව තුළ "හිස්" බව තහවුරු කළ ධුරය පාර්ලිමේන්තුවේ බහුතරයගේ විශ්වාසය මත ලබාගත් අග්‍රාමාත්‍ය ධුරයක්ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment