ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති වගට රජයේ ඉහලම නීති නිලධාරියා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වා ඇත්තේ ජනාධිපතිගේ ආරක්ෂාවට විනා නීතිය පිළිබඳ තැකීමකින් නොවන බව ප්‍රකාශයට පත්වී තිබේ.
සිවිල් සමාජ සංවිධානයක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) ප්‍රකාශ කරන්නේ ජනාධිපති වෙනුවෙන් අධිකරණය හමුවට යාමේදී නීතිපතිවරයා රටේ බලපවත්නා නීතිය නිසියාකාර නිර්වචනය කර නැති බවයි.
නොවැම්බර් 9 දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී බවට තීන්දු කරන මෙන් කර ඇති ඉල්ලීම වලට එරෙහිව කරුණු දක්වන නීතිපති ජයන්ත ජයසූරිය මහතා, ශ්‍රේෂ්ඨාධිකරණයට එම මූලික අයිතිවාසිකම් පෙත්සම් විමසීම සඳහා බලයක් නොමැති බව විනිසුරුවරුන් සත් කට්ටුවක් හමුවේ කියා සිටියේය.
අගවිනිසුරු නලීන් පෙරේරා මහතාගේ නායකත්වයෙන් බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ හා මෘදු ප්‍රනාන්දු යන විනිසුරෝ පෙත්සම් විභාග කරති.
ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතිනම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 (2) (අ ) වගන්තිය ප්‍රකාර ඒ පිළිබඳව විමසීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුව සතුව බවට විභාගය පවත්වන දෙවැනි දිනයේ පෙත්සම්වලට එරෙහිව කරුණු දැක්වීමේදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා විසින් තර්ක කරන ලදී.
නීතිපතිවරයාගේ මත දැක්වීමේ පරස්පරයක් !
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ප්‍රකාශ කරන පරිදි, නීතිපතිවරයාගේ මත දැක්වීමේ පරස්පර විරෝධයක් ඇත.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවක එම කටයුත්තේ ව්‍යවසථානුකුල භාවය විභාග කිරීමට පාර්ලිමේන්තුවක් නැති බව CPA විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා 'රේඩියෝ ගගන' වෙත කියා සිටියේය.
“ජනාධිපතිතුමා නොවැම්බර් 9 දා පාර්ලිමේන්තුවට විසුරුවා හැරියා. එහෙනම් පාර්ලිමේන්තුවට මේ ගැන පරීක්ෂණ කරන්න බෑ”.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ඇ) වගන්තිය අනුව පැවරී ඇති බලතල ප්‍රකාර බවට ද නීතිපති ජයන්ත ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වා තිබේ.
“පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට,” ජනාධිපතිවරයාට බලය ඇති බව එම වගන්තියේ දැක්වේ.
අර්ථ නිරුපනය කිරීම :
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ එක් එක් වගන්තිය වෙන්ව ගෙන අර්ථ නිරුපනය කිරීම නිවැරදි නොවන බවට CPA විධායක අධ්‍යක්ෂ වරයා තර්ක කරයි.
“ඔක්කොම එකතු කරලා තමයි හරි තේරුම, හරි අයිතිය, හරි බලය දැනගන්න පුළුවන්.”
පොදු අපේක්ෂක ලෙස එක්සත් ජාතික පක්ෂයේද සහායෙන් 2015 මැතිවරණයේ තරග වැදුනු මෛත්‍රිපාල සිරිසේන මහතා ජයගැනීමෙන් අනතුරුව සම්මත කරගන්නා ලද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ද නීතිපතිවරයා විසින් සැලකිල්ලට ගත යුතු බව ආචාර්ය සරවනමුත්තු මහතා පෙන්වා දෙයි.
පාර්ලිමේන්තුව විසුරුවීමට අදාලව ජනාධිපති බලතල සීමා කරමින් එහි 70 වැනි වගන්තියට කළ සංශෝධනය කෙරෙහි ඔහු විශේෂ අවධානයක් යොමු කරයි.
පාර්ලිමේන්තුවේ සමස්ත මන්ත්‍රී සංඛ්‍යාවෙන් “තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකල යුත්තේ ය,” යි එම සංශෝධනය ලේඛනගත කොට ඇති 17 වැනි වගන්තියේ දැක්වේ.
ජනපති සහ පුරවැසියෝ
රාජ්‍ය නායකයාගේ නීතිඥයා ලෙස අධිකරණය හමුවට යන නීතිපති ජයන්ත ජයසුරිය මහතාට ව්‍යවස්ථාව නොතකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටීම හැර වෙනත් විකල්පයක් නැති බව CPA විධායක අධ්‍යක්ෂ වරයාගේ අදහසයි.
“මං දකින විදියට නීතිපතිතුමාගේ මේ ස්ථාවරය දීලා තියෙන්නේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට. මං හිතන්නේ නෑ, නීතිය කියවන කොට මේ ස්ථාවරයට ලේසියෙන් එන්න පුළුවන් කියලා.”
කෙසේ නුමුත්, ශ්‍රී ලංකාවේ පුරවැසියන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉඳීමේ වගකීමක්ද මහජන සේවකයකු වශයෙන් නීතිපතිවරයාට පැවරෙන බව ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා අවධාරණය කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පනවන ලද තහනම දෙසැම්බර් 8 දක්වා එක් දිනකින් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06) බ්‍රහස්පතින්දා නියෝග කළේය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙසැම්බර් 7 අද දිනය දක්වා කල් තබන ලදී.
(radiogagana)
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)

0 comments :
Post a Comment