කෙල්ලට පිළිකාවක්‌ කියා - 17 හැවිරිදි කොළඹ පාසල් සිසුවා සියදිවි නසාගෙන

බොරැල්ල ප්‍රදේශයේ පාසල් සිසුවකු සිය නිවසේදී ගෙල වැළලා ගෙන මිය යෑමේ සිද්ධියක්‌ කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂණ උසාවියේ පැවැති සාක්‍ෂි විභාගයකදී අනාවරණය විය.

මෙලෙස සිය දිවි නසා ගෙන ඇත්තේ බොරැල්ල, බේස්‌ලයින් පාරේ පදිංචිව සිටි මල්දෙණියගේ කංකානම්ගේ යෙෂාන් ප්‍රභාත් පෙරේරා (17) නමැති සිසුවෙකි.

මේ සම්බන්ධ මරණ පරීක්‍ෂණය කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක මොහොමඩ්  රූම් මහතා හමුවේ පැවැති අතර, එහිදී සාක්‍ෂි දුන් සිසුවාගේ පියා වන මල්දෙණියගේ කංකානම්ලාගේ ප්‍රදීප් තුෂාර පෙරේරා (38) යන අය මෙසේ පැවැසීය.

මියගොස්‌ සිටින්නේ මගේ පුතා. මට දරුවෝ තුන්දෙනෙක්‌ ඉන්නවා. මියගියේ වැඩිමල් පුතා. පුතා බොරැල්ල කන්නංගර විදුහලේ 12 ශ්‍රේණියේ ඉගෙන ගත්තා.

 2018/12/06 වැනිදා මේ සිද්ධිය වුණේ. එදා මමයි, බිරිඳයි, මාමගේ පුතයි, පොඩි පුතාලා දෙන්නයි, මියගිය පුතයි ගෙදර හිටියා. මියගිය පුතා හිටියේ ගෙදර උඩ තට්‌ටුවේ. මගේ බිරිඳ කිව්වා පුතා කේන්තියෙන් ඉන්නේ බලන්න කියලා. පස්‌සේ මම රාත්‍රි 8.00 ට විතර උඩට ගියා බලන්න. පුතාට කන්න අඬගැසුවා. ඊට පසුව ඔහු කන්න බැහැ කියලා පල්ලෙහාට ආවා. ඊට පසුව ඔහ phone කාඩ් එකක්‌ ගේන්න කඩේට ගියා. ඒ අරන් ඇවිත් ඔහු ආයෙමත් උඩට ගියා. පස්‌සේ මාමගේ පුතා කිව්වා පුතා බෙල්ලේ වැලදාගෙන ඉන්නවා කියලා. ඊට පසුව උඩට ගිහින් බැලුවාම පුතා එල්ලිලා හිටියා. අපි ඔහුව එවෙලේම ජාතික රෝහලට අරගෙන ආවා. එදා ඉඳලා ඔහු කතා කළේ නැහැ.

 ඊට පසුව පුතාගේ ෆෝන් එකේ මැසේඡ් රාශියක්‌ තිබෙනවා දැක්‌කා. පුතා යාළුවෙලා හිටපු කෙල්ල කියලා තියෙනවා එයාට පිළිකාවක්‌ තියෙනවා. දවස්‌ හතරෙන් මැරෙනවා කියලා. පසුව පුතාටත් මැරෙන්න කියලා තිබෙනවා. පසුව පුතා කියලා මම ඉස්‌සෙල්ලාම මැරෙනවා කියලා. බ්ලේඩ් තලයකින් බෙල්ලට තියලා කපාගෙන ඒ ෆොටෝ කෙල්ලට යවලා තිබෙනවා. පුතාගේ මේ ප්‍රේම සම්බන්ධයට අපි කැමැති වුණේ නැහැ. පුතා හොරෙන් තමයි පෙම් කළේ. ඒ ප්‍රශ්නය උඩ මම මැරෙනවා කියලා මැසේඡ් එකක්‌ යවලා තිබෙනවා. ඊට පසුව තමයි මොහු මේ දේ කර ගෙන තිබෙන්නේ.

 මෙහිදී සාක්‍ෂි දුන් මියගිය තරුණයා ප්‍රේම සම්බන්ධය පැවැත්වූ 15 හැවිරිදි තරුණිය සාක්‍ෂි දෙමින් මෙසේ කියා සිටියාය.

 මා මොහු සමග මාස 4 ක කාලයක්‌ ප්‍රේම සම්බන්ධයක්‌ පැවැත්වූවා. අපි නිතරම phone එකෙන් කතා කරනවා. අපි එයාගේ ගෙදර අය දන්නවා.

 2018/12/04 වැනිදා මට කෝල් කරලා කිව්වා ඇයි phone එක බිසී කියලා. පසුව මගේ සිම් එක අර ගත්තා. පසුව එයා හොඳින් සතුටින් මැසේඡ් කරගෙන හිටියා.

 මට නාසයෙන් කටින් ලේ ගියා. 2018/12/06 වැනිදා සවස මම එයාට කිව්වා බෙහෙත් ගන්න රෝහලට යනවා කියලා. ඒ ඇවිත් කෝල් කරන්නම් කිව්වා. එයා දන්නවා මගේ නාසයෙන් කටින් ලේ යන බව. මගේ ලෙඩ සොයාගෙන නැහැ. තාමත් ක්‌ලිනික්‌ යනවා.

 ඊට පසුව ඔහු මට කිව්වා එයා මැරෙනවා කියලා. ඔයාට මොනවා හරි වෙයි. ඊට පෙර මම මැරෙන්න යනවා කිව්වා. ඊට පසුව එයා බෙල්ල කපාගෙන මට ෆොටෝ එව්වා. ඊට පසුව මමත් ඔහුට කිව්වා ඔයාට මොනවා හරි වුණොත් මමත් මැරෙනවා කියලා. ඊට පසුව මට ආරංචි වුණා එයා බෙල්ලෙ වැල දාගෙන කියලා."

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි ශ්‍රියන්ත අමරරත්න මහතා මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීය. ඉදිරිපත් වූ සාක්‍ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක මොහොමඩ්  රූමි මහතා මෙම මරණය ගෙල වැලලාගෙන සිදු කරගත් සිය දිවි නසා ගැනීමක්‌ බවට නිගමනය කළේය.

 බොරැල්ල පොලිසියේ පොලිස්‌ කොස්‌තාපල් රත්නායක මහතා (35767) මෙහිදී සාක්‍ෂි මෙහෙයවීය.

-ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment