ජාත්‍යන්තරයේ ඉල්ලීමට ලංකාවේ 15කට ඉන්ටර්පොල් රතු නිවේදන

විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත ලංකික සැකකරුවන් පහළොස් දෙනකුට රතු නිවේදන නිකුත් කිරීමට ඉන්ටර්පෝල් ආයතනය කටයුතු කර තිබේ. මේ අතරින් සිව් දෙනකු ශ්‍රී ලංකා පොලිසියේ ඉල්ලීම මත හා අට දෙනකු ඉන්දීය පොලිසියේ ඉල්ලීම මත රතු නිවේදන සහිත සැකකරුවන්
ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. ඉතිරි සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සදහා නිවේදන නිකුත් කර ඇත්තේ සයිප්‍රසය, රුමේනියාව සහ කැනඩාව යන රටවල නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ඉල්ලීම අනුවය.

ශ්‍රී ලංකා පොලිසියේ අවශ්‍යතාව මත රතු නිවේදන නිකුත් කළ සැකකරුවන්
අතර ජගමුනි සුජීව ද සොයිසා හෙවත් කොස්ගොඩ සුජී, එමිල් ලක්ෂ්මිකාන්තන් යන අය සිටිති. මේ අතර ඉන්දීය පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත සැකකරුවන් අතර ශ්‍රී ලංකාවේ කුමරන් පද්මනාදන් නමින් හඳුන්වන ෂන්මුගන් කුමරන්  ධර්මලිංගම් හෙවත් කේ.පී.ගේ නමද ඇතුළත් වේ. පිටුවහල් කිරීම හෝ ඒ හා සමාන නීත්‍යනුකූල ක්‍රියාමාර්ගයක් ගැනීම සදහා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඉන්ටර්පෝල් ආයතනය රතු නිවේදන නිකුත් කර තිබෙන අතර අපරාධයක් සම්බන්ධයෙන් පුද්ගලයෙකුගේ අනන්‍යතාව, ස්ථානය හෝ අපරාධයට සම්බන්ධ අමතර තොරතුරු ලබා ගැනීම සඳහා පමණක් ඉන්ටර්පෝල් ආයතනය නිල් නිවේදන නිකුත් කරයි.

පෙරේදා (05) ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සමරසිංහ ආරවිගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් වෙනුවෙන් ඉන්ටපෝල් නිල් නිවේදනයක් නිකුත් කළේ 2017 වසරේ දෙසැම්බර් මාසයේදී වන අතර ඒ අනුව ශ්‍රී ලංකාවේදී කළ අපරාධ සම්බන්ධයෙන් මධූ අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලිසියට නොහැකිය. ඒ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන බව පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා පැවසීය.

-උපුලි ජයරත්න-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment