ජනපතිගේ එල්ලුම් ගහ යෝජනාව “ජාත්‍යන්තර නීති කැඩීමක්”


ජනාධිපතිවරයා අධිෂ්ඨාන කරගෙන සිටින පරිදි මරණීය දණ්ඩනය නැවත ක්‍රියාත්මක කිරීමට පටන් ගතහොත් එය දැඩි ලෙස ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් වනු ඇති බවට ලෝකයේ ඉහලම නීතිවේදී සංවිධානයක් අනතුරු අඟවයි.

හතලිස් වසරකට වැඩි කාලයක් තිස්සේ අත්හිටුවා තිබූ පෝරකයට පුද්ගලයන් නැංවීම යලිත් සිදුකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කිහිපවාරයක් කර ඇති ප්‍රකාශ ඉල්ලා අස් කරගන්නා මෙන් ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම (ICJ) ගෙන් ඉල්ලා තිබේ.

“මරණ දඬුවම නැවත පටන්ගැනීම ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ ශ්‍රී ලංකාව දී ඇති පොරොන්දු දැඩි ලෙස කඩ කිරීමක් මෙන්ම, රටේ මානව හිමිකම් වලට බරපතල තර්ජනයක්ද වනු ඇති අතර, මරණීය දණ්ඩනය අහෝසි කිරීම දිසාවට පවතින ජගත් ප්‍රවණතාවට පටහැනි වන්නක්ද වේ,” යි ICJ ආසියා ශාන්තිකර අධ්‍යක්ෂ ෆ්‍රෙඩ්රික් රවුස්කි නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අළුගෝසු තනතුර සඳහා ඉල්ලුම් පත්:

ජගත් නීතිවේදීන්ගේ විරෝධය ප්‍රකාශයට පත්වූයේ ශ්‍රී ලංකාවේ පුවත්පත් අළුගෝසු තනතුර සඳහා ඉල්ලුම් පත් කැඳවන දැන්වීමක් පලකොට දෙදිනක් ඇවැමෙනි.

“විශිෂ්ඨ චරිතයකින් යුත්” වයස අවුරුදු 18ත් 45ත් අතර පුද්ගලයන් කැඳවන එම දැන්වීම පලකළ ජනමාධ්‍ය ආයතනද ජාත්‍යන්තර හෙලා දැකීමට ලක්වී තිබුනි.

“මෙය කිසිවිටෙකත් පලකළ යුතුව තිබූ දැන්වීමක් නොවේ,” යි ඇම්නස්ටි ජාත්‍යන්තරයේ දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂ බිරාජ් පට්නායික් නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වේ.

ශ්‍රී ලංකාවද ගිවිසගෙන ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියෙන් (ICCPR) සහතික කෙරෙන ජීවත් වීම සඳහා ඇති අයිතිය, මරණ දඬුවම මගින් උල්ලංඝනය කෙරෙන බව ICJ නිවේදනය පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා වැඩිම මනාපයක් පල කොට තිබුනේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැරදිකරුවන් වන අය එල්ලා මැරීමටය.

ICCPR සම්මුතියට හරස්ව:

කෙසේ වෙතත්, “මත්ද්‍රව්‍ය අපරාධ” සම්බන්ධයෙන් මරණ දඬුවම පැනවීම ICCPR සම්මුතියට හරස්ව යන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව පැහැදිලිව පෙන්වා දී ඇති අයුරු ICJ ජනාධිපතිවරයාට සිහිපත් කර දෙයි.

මරණ දඬුවම අත්හිටුවීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේ දී ශ්‍රී ලංකාවද පසුගිය අවුරුද්දේ ඡන්දය දුන් බව පෙන්වා දෙන ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම එම පොරොන්දුව “ආපිට හරවන්නේ නැතිව, ප්‍රායෝගිකව ක්‍රියාවේ යොදවන ලෙස” ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

(radiogagana.com)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment