එල්ලුම් ගහේ කඹය ප්‍රමිති පරීක්ෂණයකට යවයි

වැලිකඩ බන්ධනාගාර එල්ලුම් ගසේ සවිකර තිබෙන කඹයෙහි ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා එකී කඹය ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය වෙත යැවීමට බන්ධනාගාර ‍දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එම කඹය මීට වසර කීපයකට ඉහතදී පාකිස්තානයෙන් ගෙන්වා ගනු ලැබූ එකක් බවත් එම කඹය මරණීය දණ්ඩනයට
නියමවූ පුද්ගලයන් එල්ලා මරා දැමීමට තරම්
සුදුසු තත්ත්වයේ තිබේද යන්න පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා එසේ ප්‍රමිති කාර්යාංශය වෙත යැවීමට තීරණය කර ඇති බවක් දැන ගැනීමට තිබේ.

එම කඹයේ ප්‍රමිතියෙහි කිසියම් ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වුවහොත් සුදුසු තත්ත්වයේ කඹයක් ඉතා කඩිනමින් විදේශීය රටකින් මිලදී ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස බන්ධනාගාර අමාත්‍යාංශය මඟින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බවද වාර්තා වෙයි. මරණ දඬුවම නියමවූ පුද්ගලයන් එල්ලා මැරීම සඳහා එල්ලුම් ගස සූදානම් කර තබන ලෙස බන්ධනාගාර අමාත්‍යාංශය මඟින් පෙරේදා (06දා) ලිඛිතව කර තිබෙන දැනුම්දීමට අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ දිනවල ඉතා යුහුසුලුව ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙමින් සිටින බවද අනාවරණය වෙයි.

ඒ අනුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු වී තිබෙන අලුගෝසු තනතුර සඳහා පුද්ගලයන් බඳවා ගැනීමට එම දෙපාර්තමේන්තුව ඉදිරි දිනවලදී පුවත්පත් දැන්වීම් පළ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද දැන ගැනීමට තිබේ.  ඉහත කී කරුණ සම්බන්ධයෙන් බන්ධනාගාර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ලේකම්වරයකුගෙන් විමසීමේදී කියා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම් ගසේ කඹය ප්‍රමිති කාර්යාංශය වෙත යැවීමට පියවර ගෙන ඇති බවත්, අලුගෝසුවන් බඳවා ගැනීමට පුවත්පත් දැන්වීම් පළකරනු ලබන බවත්ය.

-කුමුදු උපුල් ශාන්ත-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment