මිය ගිය 9 දරු පියාගේ දේහය ගන්න බිරියන් දෙදෙනෙක් ඇවිත්

වතුපිටිවල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය වයස අවුරුදු අසූවක් වන දරුවන් නව දෙනකුගේ පියකුගේ දේහය බාර ගැනීම සදහා බිරියන් දෙදෙනකු ඉදිරිපත්වීම නිසා විවාහ සහතිකය ඉදිරිපත් කළ දරුවන් නැති බිරිය වෙත දේහය බාරදීමට බෙම්මුල්ල කොට්ඨාසයේ හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසිරි මාරසිංහ මහතා
ඊයේ (1) තීරණය කළේය.

මෙසේ මියගොස් තිබුණේ ගෝනගල්දෙණිය වහරක ප්‍රදේශයේ පදිංචිව සිටි රාමයියා ගනේෂන්  80 නමැත්තෙකි.

මියගිය අය 1960 දී පමණ ගම් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක හා විවාහ වී දරුවන් නව දෙනෙකු ලබා ඇත. වැඩිමහල් දරුවාට මේ
වනවිට වයස අවුරුදු 55 ක් පමණය. බාලම දරුවා වයස අවුරුදු
තිහකි.

 මෙම අය පුස්සැල්ලාව ප්‍රදේශයේ වත්තක සේවය සඳහා ගොස් ඇතැයි ද එසේ ගිය අවස්ථාවේ දී හමුවූ කාන්තාවක හා 1986 දී විවාහ දිවියට පත්ව ඇති බව ද මරණ පරීක්ෂණයේ දී අනාවරණය විය. දරුවන් නව දෙනෙකු සිටින බිරිය මේ වනවිට 74 වැනි වියේ පසුවන අතර දෙවැනි වරට විවාහවී ඇති කාන්තාව 60 හැවිරිදි වියේ පසුවේ.

මියගිය අය පුස්සැල්ලාවේ බිරියගේ නිවසේ කාලය ගත කරමින් අක්කලාගේ  ගෙදර යන බව කියා පිටව ගොස් පළමු බිරිය හා දරුවන් සමග කල් ගත කර ඇති බව ද හෙළිවිය.

පුස්සැල්ලාවේ බිරියට දරුවන් නැති අතර එක දරුවකු අරන් හදාවඩා ගෙන ඇති බව ද ඇය තම සැමියා විවාහක නව දරු පියකු බව දැනගෙන ඇත්තේ මරණය ආරංචි වීමෙන් අනතුරුව ඊයේ (7) දහවල් රෝහලට පැමිණියාට පසුවය.

පළමු බිරිය හෝ දරුවන් මරණකරුගේ විවාහ සහතිකය ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ අතර දෙවැනි බිරිය ගම්පොළ දි විවාහ වූ බවට විවාහ සහතිකය ඉදිරිපත් කළාය.

මේ අනුව මියගිය අයගේ පළමු විවාහයේ බාලම දරුවා ද ලැබිමෙන් පසු දෙවැනි විවාහය සිදු කරගෙන ඇති බව ද ඒ බව මරණය දක්වාම රහසක්ව පත්වාගෙන ගෙස් ඇති බව ද හෙළිවිය.

 පසුගිය නොවැම්බර් මාසයේ සිට මියගිය අය පළමු බිරියගේ නිවසේ රැඳී සිටිමින් දෙවැනි බිරිය හා තොරතුරු හුවමාරු කරගෙන ඇති බව ද සඳහන් විය.

නව දරු පියාගේ මරණය සිදුව ඇත්තේ මොළයට ලේ ගැලීමෙන් බවට වතුපිටිවල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.ටී.පී. ගුණවර්ධන මහතා නිගමනය කරනු ලැබීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බලා හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි මාරසිංහ මහතා විවාහ සහතිකය ඉදිරිපත් කළ දෙවැනි බිරිය වෙත දේහය බාරදුන් අතර ඇය දේහයේ අවසන් කටයුතු කිරීම සඳහා පළමු බිරිය හා දරුවන් වෙත භාර  දීමට අවසානයේ එකඟ වී දිවුරුම් ප්‍රකාශයක් ලබාදුන්නාය.

-පුෂ්පකුමාර මල්ලවආරච්චි-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment