ජනපතිට එරෙහිව එජාපය යළි අධිකරණයට.


19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජාතික ආණ්ඩු යෝජනාවක් පාර්ලිමේන්තුව තුල සම්මත කර ගැනීමෙන් පසු අගමැතිගේ ඉල්ලිම මත අමාත්‍යවරුන් සංඛ්‍යාව වැඩි කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකළහොත් ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 48 දක්වා සහ කැබිනට් නොවන අමාත්‍ය ධුර සංඛ්‍යාව 45 දක්වා ඉහළ නංවා ගැනීම සඳහා ජාතික ආණ්ඩු යෝජනාවක් පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගත්තද, වැඩිකර ගන්නා අමාත්‍ය ධුර ගණන ලබා නොදීමට ජනාධිපති ක්‍රියා කරනු ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් විමසීමේදී ජනාධිපති නීතිඥ ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා පැවසුවේ, ව්‍යවස්ථාවට අනුව එසේ පත් නොකර සිටීමට ජනපතිට අභිමතය ඇති බවයි.

අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදුනහොත් අමාත්‍යවරුන් පත් කිරිම සඳහා 19 සංශෝධනය අනුව ජනපති බැඳී සිටින බව පැවසූ නිතී විශාරදයකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම මහතා සඳහන් කළේ, ජනපති එසේ පත් නොකළහොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමේ හැකියාවක් පවතින බවයි. 

එජාපය වැටෙයි

කෙසේවුවද ස්ථාවර නියෝග පවා අත්හිටුවා ආණ්ඩුව කඩිමුඩියේ පසුගිය බ්‍රහස්පතින්දා (07) පාර්ලිමේන්තුවට ගෙන ඒමට සිටි, ජාතික ආණ්ඩු යෝජනාව කල් දැමුනේ, ශ්‍රීලනිපයෙන් සහයෝගය දැක්වීමට පොරොන්දු වී සිටි පිරිස මඟ හැරීම නිසා බව වාර්තා වේ.

බදාදා (06) පැවති පක්ෂ නායක රැස්වීමේදී ඒකාබද්ධ විපක්ෂය, ජවිපෙ සහ ටීඑන්ඒ දැඩි ලෙස විරෝධ්‍ය පළ කරමින් ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තුව සකසා ඇති න්‍යාය පත්‍රය වෙනස් කර, ස්ථාවර නියෝග අත්හිටුවා ජාතික ආණ්ඩු යෝජනාව ඉදිරිපත් නොකර, නියමිත ක්‍රමවේදයට ඉදිරියේදී එය ගෙන එන ලෙසයි. 

කතානායකවරයා මෙහිදි පවසා ඇත්තේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව කටයුතු කිරීම වඩාත් උචිත බවය. එහෙත් ඊට එකඟ නොවූ එජාප නියෝජිතයන් බ්‍රහස්පතින්දා (07) අනිවාර්යයෙන් යෝජනාව ගෙන එන බව ප්‍රකාශ කර තිබේ.

පරාජය වීමේ අවදානම !

එහෙත් පැය කිහිපයකට පසු, අරලියගහ මන්දිරයේ පැවති එජාපයේ ඉහළ පෙළේ රැස්වීමකදී එම යෝජනාව ඊළඟ පාර්ලිමේන්තු සතිය දක්වා කල් දැමීමට තීරණය කර ඇත. 

එජාපෙ ආණ්ඩුවට දැනට සහය දක්වන ශ්‍රීලනිප 6 දෙනා හැරුණු විට තවත් 5 දෙනකු හෝ 6 දෙනකු ආණ්ඩුවට එක් වීමට මීට පෙර ලබා දී තිබු පොරොන්දුව පිළිබඳ අවිනිශ්චිතතාවක් ඇති වීමත්, ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාවට ඡන්දයක් පැවැත්වුවහොත්, එය පරාජය වීමේ අවදානමත් නිසා, මෙම තීරණය ගෙන ඇතැයි දැනගන්නට ඇත.

කැබිනට් ආමාත්‍යධුර ගණන 48 දක්වාද කැබිනට් නොවන අමාත්‍ය ධුර සංඛ්‍යාව 45 දක්වාද ඉහළ නංවා ගැනීම සඳහා මෙම ජාතික ආණ්ඩු යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. 

(මූලාශ්‍රය - රාවය)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment