පසුගිය වසර හතරේ රාජ්‍ය සේවක වැටුප් 107%කින් වැඩි වෙලා: '2500' දීමනාවත් ලබන වසරේ මූලික වැටුපට.

වසර 2015 සිට අවුරුදු හතරක කාලය තුළ රාජ්‍ය සේවක වැටුප් සියයට 107කින් වැඩිකොට තිබියදීත්, මෙවර අයවැයෙන් ඊටත් අමතරව ඔවුනගේ වැටුප් වැඩිකළ බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේය.

‘රාජ්‍ය සේවකයන්ට වසර 2015 සිට 2018 දක්වා සියයට 107කින් වැටුප් වැඩි කොට තිබෙනවා. මෙවර අයවැයෙන් ඔවුන්ට මාසිකව රුපියල් 2500 අතුරු දීමනාවක් ලබා දුන්නේ ඊටත් අමතරව’ යැයි මුදල් ඇමැතිවරයා කීය.

මුදල් ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (07) සවස කොළඹ, කොටුව පිහිටි මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට වසර හතරක් තුළ රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමූ අප මෙවර ඉදිරිපත් කළේ ආණ්ඩුවේ පස්වැනි අයවැය වුවත් එය එක්සත් ජාතික පෙරමුණේ පළමු අයවැය ලෙස හැඳින්විය හැකි බවද මංගල සමරවීර මහතා කීය.

එක්සත් ජාතික පෙරමුණු රාජ්‍ය රටේ ආර්ථිකය ලිහිල්කරණය කොට වඩාත් වගකීම් සහගත කාර්යක්ෂමව සමාජ වෙළෙඳපොල ක්‍රමවේදයක් කරා රට මෙහෙයවන අතර, සමාජයේ ආරක්ෂණය ලැබිය යුතු පිරිස් වෙත ප්‍රතිලාභ අත්කරදීමටද අයවැයෙන් පියවර ගෙන ඇතැයි ද මංගල සමරවීර මහතා සඳහන් කෙළේය.

අපි මෙවර අයවැයෙන් බොහෝ දේ යෝජනා කළා. රටේ සමස්ත ආර්ථික, සමාජයික යටිතල පහසුකම් දියුණු කිරීම ඉන් ප්‍රධානයි. ඒවාගේම ජනතාවට ශක්තියක් ලබාදෙමින්, දුප්පතුන්ට රැකවරණය හා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවක් බිහි කරන්නට යෝජනා කළා.

ඒ අතුරින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම හා විශ්‍රාමිකයින්ගේ දීමනා වැඩිකිරීම, ආරක්ෂක අංශවල දීමනා ඉහළ දැමීම ගැන පමණයි විශේෂයෙන් මේ අවස්ථාවේ සිහිපත් කරන්නේ.

සමහරු කියනවා මෙය මැතිවරණයක් ඉලක්ක කොටගෙන ආ අයවැයක් බව. මේ අවුරුද්දේ ඔක්තෝම්බර් අන්තිමට ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි. ඊට පෙර හෝ පසුව පාර්ලිමේන්තු මහා මැතිවරණයක් පැවැත්විය හැකියි. නමුත් නියමිත පරිදි මහා මැතිවරණයක් පැවැත්විය යුත්තේ වසර 2020 අගෝස්තු මාසයෙන් පසුවයි.

අපි රටේ ජනතාවට සහන සලසන්නේ මැතිවරණ බලාගෙන, ඒවා ඉලක්ක කරගෙන නොවෙයි. අපි ජනතාවට ප්‍රතිලාභ අත්කරදෙන යෝජනා ගෙන ආ නිසා අද කවුරුත් අයවැයට බනින්නේ නැහැ. ටික දෙනෙක් අප කළ යෝජනා ගැන ඊර්ෂ්‍යාවෙන් පසු වෙනවා.

අද රටේ ආර්ථික අර්බුදයක් නැහැ. මේ අවස්ථාවේ රටේ තිබෙන්නේ අභියෝගාත්මක තත්ත්වයක්. රටේ ආර්ථික අර්බුදයක් ඇතිවුණේ ඔක්තෝම්බර් 26 වැනි සිට දින 52 කාලය තුළයි.

අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරික නියමිත පරිදි ලැබුණේ නැහැ. ඇමෙරිකානු මිලේනියම් අරමුදලේ ප්‍රදානයන් ලැබුණේ නැහැ. ඒ සියල්ල අපි මේ වන විට නැවත ලබා ගැනීමට සමත් වුණා. දැන් මේ අභියෝගාත්මක පසුබිම ජය ගනිමින් රට ඉදිරියට ගෙන යෑමයි අපි සිදු කරන්නේ. මෙම මාධ්‍ය හමුවට මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ. ඒ. විමලේන්තිරරාජා සහ බදු උපදේශිකා තනූජා ඒකනායක යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

2500: රාජ්‍ය සේවක දීමනාව ලබන වසරේ මූලික වැටුපට

මේ අතර එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වනවිට මෙවර අයවැයෙන් යෝජිත තවත් සමෘද්ධිලාභීන් ලක්ෂ හයකට සමෘද්ධි දීමනාව ලබාදීමට රජය පියවර ගෙන තිබේ. රාජ්‍ය සේවකයන්ට ලබාදෙන රුපියල් දෙදහස් පන්සීයේ දීමනාව ලබන වසරේ දී මූලික වැටුපට ඇතුළත් කිරීම රජයේ අරමුණ වී තිබේ. ස්වදේශ කටයුතු, පළාත් සභා, අභ්‍යන්තර කටයුතු රාජ්‍ය ඇමැති ජේ. සී. අලවතුවල මහතා සිරිකොත මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී මේ තොරතුරු හෙළි කළේය. සමෘද්ධි දීමනාව නොලැබී දීර්ඝ කාලයක් දුෂ්කරතා විඳි උදවිය වෙනුවෙන් සමෘද්ධි ප්‍රතිලාභ ලබාදෙන බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

තවද රජයේ මැදිහත්වීමෙන් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සිදුකිරීමට පියවර ගන්නා බවත් රාජ්‍ය ඇමැති අලවතුවල මහතා කීය.

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට ඉල්ලීමක් කිරීමට මුදල් අමාත්‍යාංශය ඉදිරියේදී පියවර ගන්නා බව පැවසූ රාජ්‍ය ඇමැති අලවතුවල මහතා මෙවර අයවැයෙන් සෑම ක්ෂේත්‍රයක්ම සඳහා සහන ලබාදෙමින් රට සංවර්ධනය කරා ගෙනයන්නේ මහින්ද රාජපක්ෂ රජයෙන් උරුම කර තිබෙන අමෙරිකා ඩොලර් බිලියන පහයි දශම නමයක ණය මුදල් ගෙවමින් බවත් මෙහිදී සිහිපත් කළේය. මේ ණය මුදල් සම්බන්ධව සැබෑ දත්ත ඇතුළත් සංඛ්‍යා ලේඛන ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙරේදා (6) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරද්දී බලවත් නොසන්සුන්තාවයට පත්වෙමින් එම ප්‍රකාශ දරාගැනීමට හා ඊට සවන් යොමුකිරීමට ඇතිවුණ අපහසුතාව නිසා මහින්ද රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරු වහාම සභාගැබෙන් පිටවී ගිය බවත් රාජ්‍ය ඇමැති අලවතුවල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. රාජ්‍ය ඇමැති ජේ. සී. අලවතුවල මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (7) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment