මාකඳුරේ මදුෂ් අත්අඩංගුවට ගැනීම වළක්වාලන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ



ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මදුෂ්, එහිදී ලංකා පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීම වලකාලන මෙන් ඉල්ලා, ඔහුගේ පුංචි අම්මා කෙනෙකු වන A.W ශ්‍රියානි නමැත්තියක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ SC/ FR 69/19 අංක දරණ මූලික අයිතිවාසිකම් පෙත්සම 27.03.2019 දින ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය සභාවක් ඉදිරියේ විභාගයට ගැනුණි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් වන ප්‍රසන්න ජයවර්ධන, ප්‍රියන්ත ජයවර්ධන සහ S . තුරෙයිරාජා යන විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග වූ මේ නඩුවේ, පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ යලිත් විජේසුරේන්ද්‍ර මහතා කරුණු දැක්වූ අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ මාධව තෙන්නකෝන් මහතා කරුණු දැක්වුවේය.

පෙත්සම්කරු වෙනුවෙන් කරුණු දක්වමින් නීතීඥ යලිත් විජේසුරේන්ද්‍ර මහතා, මාකඳුරේ මදුෂ් ලංකාවේ අධිකරණයක් ඉදිරියේ කිසිඳු නඩුවක වැරදිකරු බවට තීන්දු වී නොමැති බවත්, ඔහු ඩුබායිහි අත්අඩංගුවට පත්ව ඇත්තේ කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ වරදට බවත් කියා සිටියේය. එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ලංකාව අතර කිසිඳු උදර්පණ ගිවිසුමක් (extradition treaty) නොමැති බවත් දක්වා සිටි ඒ මහතා, එහෙයින් ලංකා පොලීසිය ඩුබායි වෙත ගොස් ඔහුව අත්අඩංගුවට ගැනීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වගන්තිය යටතේ මූලික විරෝධතාවක් ඉදිරිපත් කළ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ මාධව තෙන්නකෝන් මහතා, මාකඳුරේ මදුෂ් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඔහුගේ පුංචි අම්මාට නෛතික ස්ථිතියක් (Locus Standi) නොමැති බවත්, ඔහුම හෝ ඔහු වෙනුවෙන් ඔහුගේ නීතීඥවරයා එම පෙත්සම් ගොනු කිරීම සිදු කළ යුතු බවත් දක්වා සිටියේය. මීට පිළිතුරු දුන් නීතීඥ යලිත් විජේසුරේන්ද්‍ර මහතා  නෛතික ස්ථිතිය (Locus Standi) දැඩිව සලකා බැලීමේ රීතිය වර්තමාන අධිකරණ ලිහිල් කර ඇති බවත් මහජන අර්ථ සාධක නඩුකර (Public Interest Litigation) ඉදිරිපත් වන්නේද ඒ ප්‍රතිපත්තිය අනුව බවත් දක්වා සිටියේය.

කෙසේ වුවද මේ මූලික විරෝධතාව පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය, නෛතික ස්ථිතිය පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කොට නව පෙත්සමක් ගොනු කරණ මෙන් පෙත්සම්කරුගේ නීතීඥවරයාට උපදෙස් දී පෙත්සම නිෂ්ප්‍රභ කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment