අනාගත සෞභාග්‍ය කරා ජාතිය මෙහෙයවීමේ ගමනට පාර පෙන්වන 'යොවුන් පුරය' මෙවර සුන්දර වීරකැටියේ දී.


වර්ථමාන පරපුරෙන් නූතන තාරුණ්‍යට ලැබුණු විශිෂ්ඨතම දායාදය නිදහස් නිවහල් අනාගතයයි. ඒ උතුම් අනාගතය තව දුරටත් ශක්තිමත් කර සෞභාග්‍ය සහතික කිරීම තාරුණ්‍ය සතු වගකීමක් ද වේ.  එය සැබවින්ම ජාතිය බලාපොරොත්තුවන උදාර මෙහෙවරද වේ.

ශීඝ‍්‍රයෙන් වෙනස්වන ලෝකයෙන් එල්ලවන අභියෝගයන්ට සාර්ථකව මුහුණදීමට අවශ්‍ය ධෛර්යයෙන්ද යුත් ජාතියේ ප‍්‍රාර්ථනාවන් ගැන පැහැදිළි අවබෝධයක් සහිත රටේ ජාතියේ උන්නතිය සදහා ස්වකීය ශ්‍රේෂ්ඨතම ව්‍යායාමය ඇපකැප කිරීමට සූදානම් විනීත ගතිපැවතුම් වලින් හෙබි රටට සමාජයට හිතකර පිරිසක් වශයෙන් තරුණ පෙළ හැඩගැස්වීමත් , ඒ සදහා අවශ්‍ය අධ්‍යාපනය පුහුණුව හා නායකත්ව ගුණාංග ලබාදී තාරුණ්‍ය බලසතු කිරීම උදෙසාත් තාරුණ්‍යයේ මහගෙදර ලෙස ජාතික තරුණ සේවා සභාව දැන් පෙරමුණ ගෙන සිටී.

එවන් උදාර අරමුණක් කරා ශී‍්‍ර ලාංකේය තාරුණ්‍යය රැගෙන යන යොවුන් පුරය වැඩසටහනෙහි 10 වැනි යොවුන් පුරය වැඩසටහන මාර්තු මස 27 සිට 31 වෙනි දින දක්වා හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ වීරවිල පශු සම්පත් මණ්ඩල භූමියේදී තරුණ තරුණියන් 8000 ක ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට මේ වන විට  කටයුතු සංවිධානය කර ඇත.

තරුණ තරුණියන් එකට එක්ව ඔවුන්ගේ අදහස් හුවමාරු කර ගැනීමටත් විවිධ ජාතීන් නියෝජනය කරන තරුණ තරුණියන් අතර සහයෝගය හා සංහිදියාව වර්ධනය කිරීමටත් , ඔවුනොවුන් අතර මිත‍්‍රත්වය හා සමගිය වර්ධනය කිරීම සදහාත්, සම්පත් කළමණාකරණය තුළින් අභියෝග ජයගැනීමේ අත්දැකීම් ලබාගැනීමටත්  විනය හා හික්මීම පිළිබද ස්වයං අවබෝධයක් ලබාගැනීමටත් , විවිධ කුසලතා වර්ධනය සහ ඒවා අගය කිරීම සදහාත් ජාතික සංවර්ධන වැඩසටහන්වලට අදාළ ප‍්‍රතිපත්ති සම්පාදන කාර්යයෙහිලා තරුණ අදහස් ලබාගැනීමත් මෙම යොවුන් පුරය වැඩසටහනෙහි ප‍්‍රමුඛ අරමුණු වේ.

1984 වර්ෂයේ දී එවකට යෞවන කටයුතු හා රැකී රක්ෂා අමාත්‍යවරයා වූ වත්මන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව යොවුන්පුර වැඩසටහන නිර්මාණය වී ඇත. 1984 සිට 1988 දක්වා පිළවෙලින් පොළොන්නරුව, කුලියාපිටිය, මාතලේ, අනුරාධපුරය, බණ්ඩාරවෙල හා ගිරාදුරුකෝට්ටේ යන ප‍්‍රදේශවල යොවුන්පුරය කි‍්‍රයාත්මක වූ අතර  වසර 27 කට පසු වත්මන් තාරුණ්‍ය වෙනුවෙන් 2016 දී සීගිරියේ දී ද 2017 දී ති‍්‍රකුණාමලයේ දී ද 2018 දී නිකවැරටියේදී ද යොවුන් පුරය නැවත කි‍්‍රයාත්මක විය.

වත්මන් තාරුණ්‍යට යොවුන් පුරය දායාද වෙන්නේ අනාගතය ඇරඔුණා යන තේමාව මුල්කරගනිමින් වීම මෙහි විශේෂත්වයකි.


මෙම යොවුන් පුරය සංකල්පය තුල අපේක්ෂාවන් රැුසක් ඇත. තරුණ තරුණියන්ට තමන් ගත කරන දෛනික  දිවි පෙවතින් මිදී දිවයිනේ නන් දෙසින් පැමිණෙන විවිධ සංස්කෘතීන් නියෝජනය කරන තරුණ තරුණියන් හදුනාගනිමින් විවේකය, විනෝදය, අත්දැකීම් හුවමාරු කරගැනීමට අවස්ථාව ලබාගැනීමට යොවුන් පුරය තුළින් හැකියාව  උදාවේ. එමෙන්ම සමස්ථ යොවුන් පුරයේ මෙහෙයුම් පරිපාලන කටයුතු පිළිබද තීරණ ගන්නේද යොවුන් පුර නගර සභාවට පත්වන තරුණ නායක නායිකාවන් විසින් වීමද මෙහි විශේෂත්වයකි. මෙයට සහභාගිවන සමස්ථ තරුණ තරුණියන් යෞවන සමාජ තරුණ තරුණියන් වන අතර ඔවුන් සියලු දෙනාටම මනා විනයකින් හා හික්මීමකින් යුතුව තම කටයුතු ඉටුකිරීමට ලැබෙන අවස්ථාව ජීවිතයේ මහගු  අවස්ථාවක් වනු ඇත.

එමෙන්ම සීමිත සම්පත් තුළින් උපරිම පහසුව සපයාගනිමින් ජීවත්වීමේ අත්දැකීම් තරුණ තරුණියන්ට ලබාගැනීමටද යොවුන්පුරයෙන් ඉඩකඩ ලැබේ. යොවුන් පුරය ඇරඹි 80 දශකයේ සිටි තාරුණ්‍යට වඩා වත්මන් තාරුණ්‍ය වෙනස්ය. එනිසා අතීත යොවුන්පුරයට වඩා වර්තමානයේ යොවුන් පුරයද වෙනස් වී ඇත. නව තාක්ෂණික ලෝකයේ ඇති අවස්ථාවන් ජයගැනීම සදහා අධ්‍යාපන දැනුම ලබාදෙන සම්මන්ත‍්‍රණ, ප‍්‍රදර්ශණ, ප‍්‍රායෝගික පුහුණු අවස්ථා, සංස්කෘතික සංදර්ශන, වීඩියෝ කී‍්‍රඩා , අන්තර්ජාල පහසුකම් බහුල වශයෙන් සංවිධානය වී තිබීම යොවුන් පුර සංකල්පයේ වර්ධනීය අවස්ථාවන් ලෙස හදුනාගත හැකිය.

යොවුන් පුරය තාරුණ්‍යට පමණක් හිමිවන වරප‍්‍රසාදයක් පමණක් නොවේ. එය  සමස්ථ තරුණ පරපුරේ අභිවෘද්ධිය උදෙසා සියලු ආයතනවල දායකත්වය සහිතව ඉටුකරන භාරදූර කාර්යයක්ද වේ. යොවුන් පුර වැඩසටහන සදහා තරුණ තරුණියන්ට යටිතල පහසුකම් හා  සේවාවන් සැපයීමේ දී තරුණ සංවර්ධනය සදහා රාජ්‍ය ආයතනවල හා පෞද්ගලික ආයතනවල  දායකත්වය  හා කැපවීම කැපී පෙනෙන අතර එම කටයුතු කිරීමේ දී ඇතිවන මනා සම්බන්ධීකරණය යොවුන් පුර වැඩසටහනෙන් ජනිතවන අගනා ප‍්‍රථිපලයක්ද වේ.

යොවුන් පුරය කි‍්‍රයාත්මක වන ප‍්‍රදේශයේ මාර්ග සංවර්ධනය, ජීවනෝපාය සංවර්ධන කටයුතු විදුලිය හා ජල පහසුකම් සැපයීම, පැසැල් හා රෝහල් නවීකරණය, නිවාස ඉදිකිරීම් ආදී මහජන සේවාවන් ඉටුවීම මත යොවුන් පුරය පිළීබද මහජන ප‍්‍රසාදයද ඉහළගොස් ඇත.

යොවුන් පුරය සැබවින්ම ශී‍්‍ර ලාංකේය තාරුණ්‍ය යේ හඩ ජවය හා නිර්මාණශීලීත්වය ජාතියක් හමුවේ ඔසවා තබන වැඩසටහනක් පමණක් නොව, එය රටේ අනාගත සෞභාග්‍ය කරා ජාතිය  මෙහෙයවීමේ ගමනට පාර පෙන්වන දිශානතියක්ද වනු ඇත. ඓතිහාසික දකුණුලකල ගිරුවාපත්තුවේ මොරවක් කොරළයේ තංගල්ල වැව් තාවුල්ලේ සිට හමන සුළගේ දැවටී එන ජාතියේ අභිමානවත් යෞවන යෞවනියන්ගේ හඩ 10 වැනි යොවුන් පුරයේ සිට අපි ළගදීම අසමු. ඒ සදහා අත්වැල් බැදගන්නට ඔබ සැමට අපි ආරාධනා කරන්නෙමු.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment