රාජ්‍ය තාන්ත්‍රික අවුලක්: ජිනීවා සමුළුව ආණ්ඩුව අවුළවයි.


ජිනීවා මානව හිමිකම් සමුළුවට ජනපතිවරයාගේ නියමය පරිදි සහභාගී වන විශේෂ නියෝජිතයන්ගේ ස්ථාවරය ශ්‍රී ලංකා ආණ්ඩුවේ ස්ථාවරය නොවන බැවින් ඔවුන්ගේ යෝජනා නොපිළිගන්නැයි දෙමළ සන්ධානය ජිනීවා මානවහිමිකම් කොමිසමෙන් ලිඛිතව ඉල්ලීමක් කිරීමට නියමිතය.

ඊට අදාළ විශේෂ ලිපිය සති අන්තයේ දෙමළ සන්ධාන නායක ආර්. සම්පන්දන්ගේ අත්සනින් ජිනීවා වෙත යැවීමට නියමිත බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.

ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් ජිනීවාහි සිටින නිත්‍ය නියෝජිතයාගේද සහභාගීත්වයෙන් ජිනීවා සමුළුවට ශ්‍රී ලංකාව සම්බන්ධව මෙවර විශේෂ යෝජනාවක් ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාවද ඊට සම අනුග්‍රාහකත්වය දැක්වීය. එමගින් ජිනීවා කොමිසමට කලින් ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට තවත් කාලයක් ලබාගැනීමට අපේක්ෂිතය. එහෙත් ජනාධිපතිවරයා ඊට එකඟ නැත. එබැවින් ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස රජයේ මතය එහිදී ඉදිරිපත් කිරීමට ආචාර්ය සරත් අමුණුගම මහින්ද සමරසිංහ යන මන්ත්‍රීවරුද උතුරේ ආණ්ඩුකාර සුරේන් රාඝවන් ද ජිනීවා වෙත පිටත්කළේ ජනාධිපතිවරයාගේ විශේෂ නියමය අනුවය. ඔවුහු ලබන 22-23 දෙදින පැවැත්වෙන සමුළුවට සහභාගී වෙති. එහිදී ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය ලෙස ජනාධිපතිවරයාගේ මතය සමුළුවට ඉදිරිපත් කෙරේ. ජාත්‍යන්තර ප්‍රජාව අනවශ්‍ය ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රශ්නවලට මැදිහත් නොවන ලෙස ඔවුන් එහිදී ඉල්ලා සිටිනු ඇතැයි වාර්තා වෙයි.

එහෙත් දෙමළ සන්ධානය එම මතයට තරයේ එරෙහි වෙමින් යටකී ලිඛිත ඉල්ලීම කරනු ඇතැයි සඳහන්ය. ඊට අමතරව එ.ජා.ප. ආණ්ඩුවද සිය ස්ථාවරය වෙනමම ලිපියක් මගින් ජිනීවා කොමිසමට දන්වනු ඇතැයි කියැවේ. මේ නිසා ජිනීවා කොමිසම සම්බන්ධ ප්‍රශ්නය බරපතළ රාජ්‍ය තාන්ත්‍රික අවුලක් බවට පත්වෙමින් තිබේ. ජනාධිපතිවරයා මේ ගැන විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ තමන් රාජ්‍ය නායකයා ලෙස රට වෙනුවෙන් ගන්න මෙම තීරණයට එරෙහි වන ඕනෑම කෙනෙකුට විරුද්ධව පියවර ගන්නා බවයි. ජනාධිපතිවරයා විශේෂ නියෝජිත පිරිසක් ජිනීවා වෙත යැවීමට පියවර ගැනීම හේතුවෙන් අවසන් මොහොතේ විදේශ අමාත්‍ය තිලක් මාරපනද ආණ්ඩුවේ ස්ථාවරය කීමට ජිනීවා වෙත යන බව දැනගන්නට ඇත. කෙසේ වෙතත් ප්‍රබල රටවල් ගණනාවක එකතුවෙන් ඉදිරිපත් කර තිබෙන ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට අප රට දැනටමත් සම අනුග්‍රාහකත්වය දක්වා ඇති නිසා මේ ගැන ජනපතිවරයා සහ ආණ්ඩුව අතර හටගෙන තිබෙන මතගැටුමින් ප්‍රශ්නය තවත් ව්‍යාකූල වී තිබේ. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment