දිවයින පුරා රෝහල්වල වෛද්‍යවරු අද වර්ජනයක

දිවයින පුරා රෝහල්වල වෛද්‍යවරු අද වර්ජනයක

රට පුරා රෝහල්වල වෛද්‍යවරු සංකේතමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්‌ ලෙස අද (31) පෙරවරු 8.00 සිට දහවල් 12.00 දක්‌වා වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි. 

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්‌තුවට සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අත්තනෝමතික ලෙස බලපෑම් කිරීමට විරෝධය දක්‌වමින් වෛද්‍යවරුන් මෙසේ අද වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව වෛද්‍ය හේරත් මහතා පැවසීය.

හදිසි ආපදා තත්ත්වයට ලක්‌වූ කොළඹ, ගම්පහ සහ කෑගල්ල යන දිස්‌ත්‍රික්‌කවල මෙම වෛද්‍ය වැඩ වර්ජනය ක්‍රියාත්මක නොකිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කළ බවද හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම මාතෘ හා ළමා රෝහල්, පිළිකායතන සහ වකුගඩු ප්‍රතිකාර ආයතනවල ද වෛද්‍ය වර්ජනයක්‌ සිදු නොකරන බව වෛද්‍ය නලින්ද හේරත් මහතා කීවේය. 

අදාළ ගැටුමට විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ දීප ව්‍යාප්තව ආරම්භ කරන බව ද අද පවත්වන වර්ජනය ඊට සංකේතයක්‌ පමණක්‌ බව ද වෛද්‍ය හේරත් මහතා වැඩිදුරටත් පැවසී ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment