අගමැති ‍අද නවසීලන්තයට

අගමැති ‍අද නවසීලන්තයට

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෙදින නිල සංචාරයක් සඳහා නවසීලන්තය බලා අද (29) පිටත්වයාමට නියමිතය.

මෙම සංචාරය සඳහා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගී වනු ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ශ්‍රී ලාංකේය අග්‍රාමාත්‍යවරයෙක් නවසීලන්තයේ ද්විපාර්ශවික සාකච්ඡා සඳහා සහභාගී වන මුල්ම අවස්ථාව මෙය වේ.

ඔක්තොම්බර් මස පළමු වනදා ඕක්ලන්ත නුවර, නවසීලන්ත රාජ්‍ය මන්දිරයේදී නිල පිළිගැනීමේ උත්සවය පැවැත්වෙන අතර, ඉන් අනතුරු අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා සමඟ ද්විපාර්ශවික සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය.  

ඕක්ලන්ත, වයිකටෝ සහ වෙලිංටන් යන නගර ආශ්‍රිතව පැවැත්වෙන නිල, ව්‍යාපාරික සහ ප්‍රජා ඉසව් ගණනාවකට ද වික්‍රමසිංහ මහතා ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස සහභාගීවීමට නියමිතය.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමතිනි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා, යන මහත්ම මහත්මීහු ද මෙම සංචාරයට සහභාගී වෙති.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment