අධිවේගි මාර්ග හැදීමෙන්ම පමණක් මාර්ග තදබදය, ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රයේ ගැටළු විසදෙනවා යැයි හිතන මානසිකත්වයෙන් ඉවත් විය යුතුයැයි හා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කෙටි, දිගු කාලීන විසඳුමක් ලෙස අධිවේගී මාර්ග තණන අතරේ විධිමත් මාර්ග සැලසුම්කරණයකුත් සමග පොදු ප‍්‍රවාහනය ශක්තිමත් කිරීමට අවධානය යොමු කළ යුතු බවත් ඒ වගේම කෙටි කාලීන විසඳුම් ලෙස මාර්ගයේ විනය ඇතිකළ යුතු බවත් සියළුම රිය පදවන්නන් මාර්ග නීතියට ගරු කළ යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ ඊයේ (07) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් ආයතනයේ පැවති, ජාතික රුපවාහිනිය මගින් සංවිධානය කළ ‘පරිස්සමින් ගිහින් එන්න‘වැඩ සටහනේ සමාප්ති උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසී ය.
“පසුගිය කාලයේ අපි කළේ පාරවල් හදන එකමයි. ප‍්‍රග්ධන වියදමින් සෞඛ්‍ය සඳහා වියදම් කළේ 4% යි. පාරවල් හදන්න 40% ක් වියදම් කළා. නමුත් එතරම් වියදම් කළත් අපේ ප‍්‍රවාහන ප‍්‍රශ්නය විසඳුනාද? පළමු අධිවේගි මාර්ගයේ කොට්ටාවේ ඉඳන් ගාල්ලට යන්න පැයයි. නමුත් කොට්ටාවට යන්න පැය එකහාමාරක් යනවා. දෙවට හන්දියේ ඉඳන් ගාල්ලට තව පැය එකහමාරක් යනවා මේකයි ඇත්ත තත්වය. ඒ වගේම නුවර අධිවේගී මාර්ගය හැදිමෙන් මාර්ග තදබදය විසඳෙයිද? ගලගෙදරින් අධිවේගි මාර්ගය නැවතුනත් මහනුවර නගරයට යන්න පැය එකහමාරක් යනවා මේක තමයි ඇත්ත. එම නිසා අධිවේගි මාර්ග හැදීමෙන්ම පමණක් මාර්ග තදබදය, ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රයේ ගැටළු විසදෙනවා යැයි හිතන මානසිකත්වයෙන් ඉවත් විය යුතුයි“
“අධිවේගී මාර්ග සාර්ථක වෙන්නේ, පොදු ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය හා ඊට අනුරූපව නාගරික සැලැස්ම නවීකරණය කළොත් පමණයි. අපි කිසිම ආයෝජනයක් කරලා නැහැ පොදු ප‍්‍රවාහන සේවය පැත්තෙන්. අදටත් තියෙන්නේ ලොරි බොඩිවල ගහපු බස්. අපේ රට මධ්‍ය අදායම් ලබන රටක් දැන් ජනතාව කැමති නෑ කොඳු කඩාගෙන, දාඩිය මුගුරු දාගෙන කාර්යාලයට යන්න හෝ ප‍්‍රවාහන අවශ්‍යතා සපුර ගන්න. එයට ගැලපෙන ප‍්‍රවාහන බස්රථ සේවයක් රජය ලබා දිය යුතුයි. ඒවගේම පැරණි දුම්රිය පද්ධතිය අදට ගැලපෙන්නේ නෑ. ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ අපි දුම්රිය විදුලිකරණය කරනවා. තවද සැහැල්ලූ දුම්රිය පද්ධතියක් ස්ථාපිත කරනවා. මේ සියල්ල කළ යුතුව තිබුණේ මීට වසර දහයකට පෙර. මේ නිසා දැන්වත් බස් රථ සේවය, දුම්රිය සේවය දියුණු කළ යුතුයි. නොකරන තාක්කල් අධිවේගි මාර්ගවලට කොපමණ මුදල් යට කළත් ප‍්‍රවාහන ප‍්‍රශ්නය විසදිය නොහැකියි.“යැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.
“2009 යට පෙර ත‍්‍රස්තවාදි යුද්ධය නිසා වසරකට ජීවිත 3000 ක් පමණ රටට අහිමු වුණා. 2009 දී යුද්ධය සම්පූර්ණයෙන් අවසන් කළත්, දැන් අලුත් ගැටුමක් මහා මර්ගයේ ඇතිවෙලා තියෙනවා වසරකට තුන් දාහක් පමණ මාර්ග අනතුරු නිසා මිය යනවා. සමාජ දර්ශකවලින් අපේ රට කලාපයේ අනිත් රටවල්වලට වඩා ඉදිරියෙන් හිටියත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව කලාපයේ අනිත් රටවලට වඩා පසුපසට ගොස් තිබෙනවා. කෙටි, දිගු කාලීන විසඳුමක් ලෙස අධිවේගී මාර්ග තණන අතරේ විධිමත් මාර්ග සැලසුම්කරණයකුත් සමග පොදු ප‍්‍රවාහනය ශක්තිමත් කිරීමට අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම කෙටි කාලීන විසඳුම් ලෙස මාර්ගයේ විනය ඇතිකළ යුතුයි. සියළුම රිය පදවන්නන් මාර්ග නීතියට ගරු කළ යුතුයි. එහිදී පොදු ප‍්‍රවාහණයට මුල්තැන දිය යුතුය. බස්රථවලින් සෙනග ප‍්‍රවාහනය ඉතා වැදගත්. පුද්ගලිකව ප‍්‍රවාහනය කරනවාට වඩා මුල්තැන දිය යුත්තේ එම කාර්යටයි. එයත් මාර්ග විනයට ඇතුළත් කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
0 comments :
Post a Comment