රථවාහන වැරදි හතක් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත රුපියල් 25,000 දඩ මුදල සංශෝධනය නොකිරීමට රජය තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කළ බවත්, ඒ වෙනුවෙන් කැබිනට් මණ්ඩලය තුළ ඒකමතික එකඟතාවක් ලැබී ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.
දැනට නීතිගතව නොමැති වමෙන් ඉස්සර කිරීම සහ අධික වේගයෙන් රිය පැදවීම යන කරුණු පළමුව නීතිගත කිරීමටද සාකච්ඡා වී ඇති අතර, ඒ සඳහාද රුපියල් 25,000 ක දඩය ක්‍රියාත්මක කරනවාද යන්න ඊට පසුව සාකච්ඡා කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
එමෙන්ම මෙම දඩ මුදල් සම්බන්ධයෙන් ඉක්මනින් ගැසට් කර පනත් සංශෝධනය කර ක්‍රියාත්මක කළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම මෙම දඩය පැනවීමට විරෝධය පළ කිරීම සඳහා පසුගියදා සිදුකළ බස් වර්ජනයේදී ලංගම බස් රථ 128කට දැඩි ලෙස අලාභහානි සිදුකර ඇති බවත් ඒ වෙනුවෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට නොගැනීම කනගාටුවට කරුණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කෙසේවෙතත් රථ වාහන වැරදි 7ක් සඳහා අවම දඩ මුදල රුපියල් 25,000ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබිණි.
ඒ 2017 අයවැය යෝජනාවලිය මගින් යෝජනා කර ඇති පරිදි රථ වාහන වැරැදි සඳහා වූ දඩ මුදල් ක්‍රියාත්මක කිරීමට අදාළව මුදල් අමාත්‍යාංශයේදී පසුගියදා පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
මෙම සාකච්ඡාවට ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා, පොලීසිය සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයෝ ද මෙම අවස්ථාවට එක් වූහ.
දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව සියලු පාර්ශ්වයන්ගේ එකඟත්වය මත ප්‍රධාන වැරැදි හතක් ක් මෙහි දී හඳුනා ගනු ලැබිණි.
ඒ අනුව බීමත්ව රිය පැදවීම,රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම හෝ එවැන්නෙකුට තම රථය පැදවීමට ඉඩදීම,අනාරක්ෂිත ලෙස දුම්රිය හරස් මාර්ගවලින් ධාවනය කිරීම,රක්ෂණ ආවරණයක් නොමැතිවීම,අධික වේගය හා වමෙන් ඉස්සර කිරීම ආදී වැරදි සඳහා මෙලෙස දඩය වැඩි කිරීම සඳහා හදුනාගෙන තිබේ.
මීට පෙර රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීම සඳහා රු.2500ක දඩ මුදලක්, සම්මත වේගයට වැඩියෙන් ධාවනය කිරීමේ වරදට රු.1000ක දඩයක්ද, වමෙන් ඉස්සර කිරීමේ වරදට රු.500ක්ද, අන් අය වාහනයක් පදවා වරදක් සිදුවූ විට හිමිකරුට රු.300ක දඩයක්ද ලෙස මීට පෙරාතුව දඩ මුදල් නියම කෙරුණු අතර මේ අනුව නවතම සංශෝධිත රෙගුලාසි වලට අනුව මේ එක් එක් වරදක් සඳහා රු. 25,000ක් අයකරනු ලැබෙයි.
මාර්ග වල කැමරා පද්ධති පිහිටුවීම මෙන්ම නව තාක්ෂණ ක්‍රමවේදයන් ඉදිරියේදී හදුන්වාදීමට කරයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්න බවට මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කල බව සාකච්ඡා වලින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
අදාල තීරණ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේ මෙවැනි නීති රීති ගෙන එන්නේ මහජනතාවගේ ආරක්ෂාවට බවත් දිනෙන් දින ඉහල යන රථවාහන අනතුරු අවම කිරීමට බවයි.
0 comments :
Post a Comment