ඇමති ඉවත් කිරීමේ කුමන්ත්‍රණය ජනපති අණින් නවතියි

ඇමති ඉවත් කිරීමේ කුමන්ත්‍රණය ජනපති අණින් නවතියි

බස්‌නාහිර පළාත් අධ්‍යාපන ඇමති රංජිත් සෝමවංශ මහතාට අයත් අමාත්‍යාංශ වැය ශීර්ෂය පරාජය කිරීමේ කුමන්ත්‍රණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් ව්‍යර්ථ වී ඇතැයි වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ඊයේ (06) පෙරවරුවේ ජනපති නිල නිවසට ගෙන්වා සිදුකළ සාකච්ඡාවකින් පසු පළාත් සභා ආණ්‌ඩු පක්‌ෂ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කර සෝමවංශ මහතාට අයත් වැය ශීර්ෂය ද ඡන්ද විමසීමේදී ජයග්‍රහණය කිරීමට එකඟතාවට පත්වූ බව රජයේ ආරංචි මාර්ග පවසයි.

රංජිත් සෝමවංශ මහතාට අයත් අමාත්‍යාංශ වැය ශීර්ෂය අනිද්දා (09) විවාදයට ගෙන ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය.

කෙසේ වෙතත් බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා ධූරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් යළිත් එම සභාවේ ක්‍රියාත්මක වන බව පසුගියදා වාර්තා විය.

එළැඹෙන බස්නාහිර පළාත් අය වැය විවාදය අතරතුර එම අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයට අයත් වැය ශීර්ෂය පරාජය කර අමාත්‍යවරයා ධූරයෙන් නෙරපීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බව පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

පසුගිය වසරේ ද බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, ළමාරක්ෂක, පරිවාස හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජය කෙරුණු අතර ඉන් පසු එම අමාත්‍යධූරය දැරූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාට සිය ධූරය අහිමි විය.

බස්නාහිර පළාත් සභා අයවැය ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් මෙම මස 22 වැනිදා පළාත් සභාවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ පිළිබඳ විවාදය දෙසැම්බර් මස 6, 7, 8, 9, 14 සහ 15 යන දිනවල පැවැත්වේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment