රාජිත ගෙදර යවන්න ඖෂධ සමාගම් බරටම වැඩ

රාජිත ගෙදර යවන්න ඖෂධ සමාගම් බරටම වැඩ

 

සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ වෙනස්කම් සිදුවෙමින් රෝගීන්ගේ යහපත වෙනුවෙන් විවිධ යෝජනා ක්‍රියාත්මක වෙමින් තිබෙන පසුබිමකයි. මේ වනවිට අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු ඖෂධ වර්ග 48 ක මිල පහත දමා තිබේ. ඒ සමහරක් ඖෂධ දහස් ගණන් වටිනා ඒවාය. ඊට අමතරව හදවත් රෝගීන්ට අවශ්‍ය ස්ටෙන්ට් වැනි අත්‍යවශ්‍ය උපකරණවල මිල පහත දමා ඇත්තේ ලක්ෂ ගණනකිනි.

මීට අමතරව දුම්වැටි බදු ඉහළ දමා දුම්පානය කරන්නන් අධෛර්යමත් කිරීමට කටයුතු කර ඇති අතර මේ වනවිට සැලකිය යුතු ප්‍රමාණයකින් දුම්වැටි භාවිතය පහත වැටී ඇත.

ජනතාව වෙනුවෙන් මෙවැනි සහන සැලසීමට කටයුතු කරන සෞඛ්‍ය ඇමතිවරයා ධූරයෙන් පහකිරීමට ජනතාවට නම් කිසිදු අවශ්‍යතාවයක් නොමැත. ඒ අනුව සෞඛ්‍ය ඇමතිවරයාට විවිධ චෝදනා එල්ල කරමින් ඔහු ධූරයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවය ඇත්තේ කාටද යන්න පිළිබඳව අමුතුවෙන් සිතා බැලීමට අවශ්‍ය නැත.

රාජිත සේනාරත්න ඇමතිවරයාගේ මෙම වැඩපිළිවෙල නිසා හොඳටම රිදී ඇත්තේ ඖෂධ සමාගම්වලට සහ දුම්කොල සමාගම්වලටයි. එයට හේතුව ඖෂධ මිල අඩුකිරීම හරහා සහ දුම්වැටි භාවිතය අවම වීම හරහා අදාල සමාගම්වල ලාභය පහත වැටීමයි. ඖෂධ සමාගම් ඖෂධ ආනයනය හරහා අධික ලාභයක් ලැබූ අතර දැන් එම අධික ලාභයට තිත තබා තිබේ.

ඖෂධ සමාගම් දැන් කටයුතු කරමින් සිටින්නේ අමාත්‍යවරයාට විවිධ චෝදනා එල්ල කර කෙසේ හෝ ඔහුව ධූරයෙන් ඉවත් කිරීමටයි.

මෙතෙක් පැවති කිසිදු රජයක කිසිදු සෞඛ්‍ය අමාත්‍යවරයෙකුට සමාගම් අත්කර ගන්නා මෙම අසාධාරණ ලාභයට තිත තැබීමට නොහැකි වූ අතර එවැනි තීරණයක් ගැනීමට තරම් ඔවුන් ශක්තිමත් නොවීය. වසර 40 කට අධික කාලයක් සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය කුණු කූඩයට දමා තිබුනේ එහෙයිනි.

හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙකු ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව ලැබුණු අතර එහි ප්‍රතිඵල මේ වනවිට ජනතාව භුක්ති විඳිමින් සිටී.

මේ වනවිට ඖෂධ සමාගම්, සෞඛ්‍ය ඇමතිවරයා ඉවත් කිරීම සඳහා දැඩි උත්සාහයක් ගනිමින් සිටින අතර ඒ සඳහා සල්ලි මිටි ගණන් විසි කරමින් සිටී. සයිටම් විරෝධය ඉදිරියට දමමින් රජයට එරෙහිව කටයුතු කරන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිතිවලට සල්ලි මලු බෙදමින් සිටින ඖෂධ සමාගම් එපමණකින් නොනැවතී ඒකාබද්ධ විපක්ෂයට ද මුදල් මලු බෙදමින් සිටී.

ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනා ඉදිරිපත් වන්නේ ඒ අනුවයි. කෙසේ වෙතත් ඇමතිවරයා පවසන්නේ මෙම තර්ජනවලට කිසිසේත් බිය නොවන බවයි. සමාගම්වල වෛරයට ලක්වීමෙන් පැහැදිලි වන්නේ තමන්ගේ වැඩපිළිවෙල සාර්ථක වී ඇති බව යැයි ද ඇමතිවරයා පවසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment