ට්‍රම්ප් ආසියාවේදී කන කෑමක්!

ට්‍රම්ප් ආසියාවේදී කන කෑමක්!

Tokyo Buddy burgers :- ටෝකියෝ බඩි බර්ගර්ස්:- ජපානයේ ෂින්සො අබේ (ඒබේ) ට්‍රම්ප්ගේ හොඳම මිතුරා ලෙස නිරන්තරයෙන් මේ සංචාරයේදී පෙනී සිටියේය. ට්‍රම්ප් ආසියානු සංචාරය පටන් ගත්තේ ද ජපානයෙනි. මේ දෙදෙනා එහිදී ගත් දිවාආහාරය ඇමරිකානු හැම්බර්ග් ය. ඒවායේ තිබුණේ ඇමරිකාවෙන් ආනයනය කළ හරක් මස් ය. සෝස් ලෙස පාවිච්චි වුණේ හෙයින්ස් කෙචප් ය. පණිවුඩය පැහැදිලි ය. ෂින්සො අබේ පට්ට ඇමරිකානුවෙකි.! ට්‍රම්ප් ඒ බව දනියි.

 

Traditional steak and ice-cream sundae :- සම්ප්‍රදායික ක්‍රමයට පිසූ මාළු කුට්ටි සමග අයිස්ක්‍රීම් සන්ඩේ:- ට්‍රම්ප් අමු මාළු කන්නට කැමති නැත. එනිසා 2014 වසරේ ඔබාමා කළාක් මෙන් ඔහු වැරදීමකින්වත් සුෂී කන්නට ගියේ නැත. තෝකියොවේ සුපිරි අවන්හලකදී ඔහු ගත් පළමු කෑම වේලට ජපන් ක්‍රමයට හොඳින් පිසූ මාළු සහ චොක්ලට් අයිස්ක්‍රීම් සන්ඩේ අයත් විය.

Teriyaki chicken and steamed egg :- තෙරියාකි චිකන් සමග දුමෙන් තැම්බූ බිත්තර:- කෙසේ නමුත් ට්‍රම්ප් තෝකියෝවේදී සම්ප්‍රදායික ජපන් ආහාර වේලක ද රස බැලුවේය. එය ජපන් ක්‍රමයේ රාජ්‍ය භෝජන සංග්‍රහයකි. චවාන්මුෂි නමින් හඳුන්වන ජපන් ක්‍රමයට දුම්ගසා තැම්බූ බිත්තර මෙන්ම මත්සුතාකේ බිම්මල් ද අවසානයේ තෙරියාකි චිකන් පිඟානකට ද ඔහු වග කිව්වේය. පණිවුඩය පැහැදිලි ය. අවශ්‍ය නම් ජපන් ක්‍රමයට සම්ප්‍රදායික වීමට පවා ට්‍රම්ප් කැමති ය.

දකුණු කොරියාවේ ‘දේශපාලනික ඉස්සන් භෝජනය’:- දකුණු කොරියාවේදී ට්‍රම්ප් රස බැලූ දේ අතර ‘දේශපාලනික ඉස්සන් භෝජනය’ කිසි ලෙසකින් අමතක කළ නොහැකි ය. එනම්, සෝල් අගනුවර දී ට්‍රම්ප්ගේ කෑම මේසයේ අති දැවැන්ත සහ මනා ලෙස තම්බා පිසින ලද තනි ඉස්සෙක් දැකගත හැකි විය. මේ ඉස්සා අල්ලාගෙන තිබුණේ දොක්තෝ-තකෙෂිමා දූපත් අතර තිබෙන මුහුදු තීරයෙනි. මේ මුහුදු තීරයට ජපානය මෙන්ම දකුණු කොරියාව ද අයිතිවාසිකම් තිබෙන නිසා ට්‍රම්ප් විසින් මරා කන ලද ඉස්සා තනිකරම දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයට මැදි වූ අසරණයෙකි. පණිවුඩය පැහැදිලි ය. ඉස්සර නම් ට්‍රම්ප් මෙසේ කළා නම් ෂින්සො අබේ විස්සෝප වනු ඇත. නමුත් දැන් දකුණු කොරියාව සහ ජපානය සිටින දේශපාලන ස්ථාවරය වන්නේ උතුරු කොරියාවට පාඩමක් උගන්වන්නට නම් දෙරට එක්සත් විය යුතු බවයි. ඒ වෙනුවෙන් ඉස්සෙක් තැම්බීම සුළු දෙයකි.

ඇමරිකාවටත් වඩා පරණ සෝස් කන්නට ට්‍රම්ප් කටයුතු කළේ ද මෙහිදී ය. එහිදී කෑම මේසයේ තිබූ කුදු මහත් දේ රස බැලීම සඳහා ඔහුට ලබා දී තිබූ සෝයා සෝස් වර්ගය අවුරුදු 360 ක් පැරණි එකකි. ඇමරිකා එක්සත් ජනපදය බිහිවූ වර්ෂය 1776 ය. එනම් ඇමරිකාවේ වයස අවුරුදු 241 කි. ඒ අනුව ට්‍රම්ප් ඇමරිකාවටත් වඩා වයස සෝස් වර්ගයක් දකුණු කොරියාවේදී කෑවේය.! පණිවුඩය පැහැදිලි ය. දකුණු කොරියාවේදී මොනවා කෑවත්, දකුණු කොරියාවේ ඉතිහාසය සහ සංස්කෘතිය, ඇමරිකාවේ ඉතිහාසයට වඩා ශතවර්ෂයකුත් තව ටිකක් පැරණි බව ට්‍රම්ප් මතක තබා ගැනීම වටියි.

මේ කෑම මේසයේදී ට්‍රම්ප් සමග සිටි විශේෂිත තැනැත්තියක් වූවාය. ඒ, ජපන් සොල්දාදුවන් සඳහා ලිංගික වහලියක් ලෙස කටයුතු කළ කොම්ෆෝර්ට් වුමන් කෙනෙකි. ලී යොන් සූ නමැති ඇයව ට්‍රම්ප් බදාගෙන සිටින අයුරු ලෝක ප්‍රසිද්ධ විය. දෙවන ලෝක යුධ සමයේදී ජපන් හමුදාවට ලිංගික වහලියන් ලෙස දකුණු කොරියානු කාන්තාවන් සැපයීම දකුණු කොරියාවේදී උණුසුම් මාතෘකාවකි. මෙහිදී ද ට්‍රම්ප් ලබාදෙන පණිවුඩය පැහැදිලි ය. ඔහු ජපානයේදී හැම්බර්ග් කා, දකුණු කොරියාවේදී ඇය වැනි අය පවා වැළඳ ගැනීමට සමත් ය. කොහොමටත් ට්‍රම්ප්ට මෙසේ හැසිරීමට, ඇය ස්ත්‍රියක් වීම පමණක් ප්‍රමාණවත් ය.

Kung pao chicken and chilli oil fish:-චුම්පාවෝ චිකන් සමග චිලී ඔයිල් ෆිෂ්:- ට්‍රම්ප් මේ කෑම කෑවේ චීනයේදී ය. බොහෝ ඇමරිකානුවන්ට පුරුදු කෑමක් වන චුම්පාවෝ චිකන්ම ට්‍රම්ප්ට කවන්නට රාජ්‍ය භෝජන සංග්‍රහය සැලසුම් කළ අය වගබලාගෙන තිබිණි. ඒ හැරුණු විට පැන්ඩාවුන් බහුල සිචුආන් පළාතෙන් ගෙන ආ අමු මිරිස් ද මිරිස් දැමූ තෙලෙන් බදින ලද මාළු කෑල්ලක් ද ට්‍රම්ප්ගේ කෑම පිඟානේ විය. මේ කෑම පිඟානේ වූ දේශපාලන උපහාසය වූයේ එයට දී තිබූ නමයි. මේ මෙනු එකේ නම ‘චුඅන්පු’ ය. ට්‍රම්ප් පසුගිය මැතිවරණ සමයේදී චීනය වෙත දැක්වූ ‘අතාත්වික ප්‍රේමය’ නිසාම ඔහුට සිචුආන් පළාතේ පෙනුමක් ඇති බවට ජනප්‍රිය කටකතාවක් පැතිරී තිබිණි. එනම් ට්‍රම්ප්ට චීන සම්භවයක් ඇති බවට මඩක් ගැසිණි. චුඅන්පු යන්න චීන බසින් එක හෙළාම සිචුආන් සම්භවය හඟවන්නකි.!

ඉදිරි දිනවලදී ට්‍රම්ප් පිලිපීනය බලා ගොස්, ඔහුටත් වඩා මැරයෙක් වන, මත් යුද්ධයක් ගැන කියමින් විරුද්ධවාදීන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද දහස් ගණනින් මහ දවාලේ ඝාතනය කරන රොඩ්‍රිගෝ ඩුටර්ටි ව මුණ ගැසෙනු ඇත. පිලිපීනයේදී ඔහු අනිවාර්යයෙන්ම ‘හලෝ හලෝ’ නමැති අතුරුපස රස බලනු ඇත. මෙයින් දෙන පණිවුඩය වටහාගැනීමට නම් ඔබ ට්‍රම්ප්ගේ සාමාන්‍ය හඬ පටයක් ඇසිය යුතුය. ඔහු ‘හෙලෝ’ කියනු වෙනුවට හැමවිටම කියන්නේ ‘හලෝ’ කියාය. ඉතින්, ඇමරිකාවේදී හෙලෝ වෙනුවට හලෝ කියන ට්‍රම්ප්, පිලිපීනයේදී කන්නට යන්නේ ‘හලෝ හලෝ’ ය!

ආසියාවේදී මෙතෙක් කෑ කෑම ගැන ට්‍රම්ප් කිව්වේ මොනවාද? කොහොමටත් ට්‍රම්ප් යනු ඉතාම දුර්වල ශබ්ද කෝෂයක් ඇති අයෙක් බව අපි දනිමු. මේ බව ඉතාම පැහැදිලිව පෙනුණේ ඔහු ජනාධිපතිවරණ වේදිකාවට නැග ගිය අවුරුද්දේ අන්තිම මාසවල මරහඬ තළන විට ය. චීනයට තමන් අකමැති නැති බව කියන්නට අවශ්‍ය වූ හැමවිටම ඔහුට කියාගත හැකි වූයේ ‘අයි ලව් චයිනා-අයි ලව් චයිනා’ කියා පමණක් ය. තවමත් ඔහු කිසි දෙයක් පැහැදිලිව නොකියා ‘ෆීලිං ගුඩ්’ වැනි දේවල් කියා ෂේප් වෙයි. ආසියාවේදී කන කෑම ගැන සිය අදහස වශයෙන් ට්‍රම්ප් කියා තිබෙන්නේ ‘ගුඩ් ෆුඩ්’ කියා පමණක් ය. කොහොමටත් ට්‍රම්ප්, කැමති කෑමක් ආසියාවේදී කා අහවර කිරීම ඔහුට මෙන්ම ආසියාවට ද ඇඟට ගුණ ය. ඔහු හෙණ ගසන්නාක් මෙන් ජනපති වීම පිටුපස රුසියානු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වේදැයි විමර්ශනය කරන කණ්ඩායම අද වන විට ඔහුගේ ඇතුළු කවයේ සිටින ගෝලබාලයන් පිළිබඳ තියුණු පරීක්ෂණයක් කරන්නට තීරණය කර තිබේ. ඉතා පැහැදිලිව පෙනෙන ආකාරයට, දින 13 ආසියානු සංචාරය නිමවා ඇමරිකාව බලා ගිය විට ලොවෙත් නැති ‘හොඳ කෑමක්’ කන්නට ට්‍රම්ප් දැන්මම හිත හදාගත යුතුව තිබේ.!!

-  ක්‍රිෂාන්ති රාජපක්ෂ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment